පාසල් දරුවන් රක්ෂණය කිරීමට පසුගිය ආණ්ඩුවෙන් ලබාඳුන් රුපියල් මිලියන දෙදහස් පන්සීයක මුදලින් රුපියල් මිලීයන දාහක මුදලක් නිකරුණේ විදේශීය රටක ප්‍රතිරක්ෂණය කිරීමට යෙදවීමෙන් අතිවිශාල මුදලක් කොමිස් වශයෙන් ලැබී තිබෙනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

"බුද්ධියෙන් බල ගැන්වුණු වයඹක්"  මැයෙන් වයඹ විද්වත් සම්මේලනය විසින් කුරුණෑළිගලදී පෙරේදා (29දා) පැවැති සංවාදශීලී හමුවේ ආරාධිතයකු ලෙස සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා සිටීස්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මහ බැංකු බැඳුම්කර වංචාව අපේ රටේ වෙච්චි දැවැත්තම දූෂණය සහ වංචාවයි. අද බැංකු පොලී අනුපාතය යම් මට්ටමක තියෙනවාද අවම වශයෙන් සීයට තුනක් හෝ හතරක් වැඩි වෙලා තියෙන්නේ මහ බැකු දූෂණය නිසා ඇති වෙච්චි පොලී අනුපාතය නිසායි. ඒක තව අවුරුදු තිහක් යනකල්වත් පහළ
බසී කියලා මම නම් හිතන්නේ නැහැ.

අද වනවිට ඇමරිකානු ඩොලරයක මිල මේ තරම් ඉහළ මට්ටමක තියෙන්නෙත් මහ බැංකු දූෂණය නිසාමයි, එහෙම නොවුණානම් ඩොලර් ඒකකය තව රුපියල් දහයකින්වත් අඩුවීමට ඉඩ තිබුණා. එහෙම වුණානම් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වෙන්න තිබුණා.

මම පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටියදීත් දූෂණයට වංචාවට. එරෙහිව දැඩි සටනක් ගෙන ගියා, මාලඹේ
තියෙන තාක්ෂණික විශ්වවිද්‍යාලය රුපියල් මිලියන හාරසීයකට පෞද්ගලික ව්‍යාපාර හිමිකරුවන් කිහිප දෙනෙකුට විකුණා දැම්මා. හැබැයි මේ ආයතනය වටිනාකම මිලියන හතළිස් දාහයි. මිලියන හතළිස් දාහක වත්කමක් වික්කා දෙදහස් පහළොවේදී මිලියන හාරසීයකට. ඒවා පිළිබඳ අපි ජනාධිපති කොමිසමටත් පැමිණිලි කළා. මේ වාගේ තවත් දූෂණ වංචා සිදුකරලා තියෙනවා.

දැන් නිර්දේශ ඇවිත් තියෙනවා ඒ දූෂණ වංචා කරපු අයට දඩුවම් දෙන්න කියලා. පාසල් දරුවන්ට නිල ඇඳුම් දෙනකොට ඒ සඳහා ගෙවපු මුදල රුපියල් මිලියන දෙදහස් තුන්සීයක් පමණ වුණා. හැබැයි ඒ සඳහා වවුචර් හඳුන්වාදීම නිසා අපිට වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා එක අවුරුද්දකට රුපියල් මිලියන පන්සිය හතළිහක්.
ලක්ෂ පන්දහස් හාරසීයක්. එතකොට ඒ ක්‍රමය ක්‍රියාත්මක කළේ මොන යහපත් පරමාර්ථයෙන්ද? කුමන අධ්‍යයනයක් කරලාද?

අපේ පාසල් දරුවන්ට රක්ෂණ පහසුකම් ලබාදීමට රුපියල් මිලියන දෙදහස් හත්සීයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්තරා රක්ෂණ සමාගමකට ගෙව්වා. ඒ පිළිබඳවත් කිසිම පූර්ව අධ්‍යයනයක් කරලා නැහැ. මෙච්චර ගානක් ගෙවලා දෙදහස් දහඅටේ අවුරුද්දේ අපේ දරුවන්ට රක්ෂණ ප්‍රතිලාභ තියෙන්නේ රුපියල් මිලියන හාරසීයයි. නිකරුණේ රුපියල් මිලියන දෙදහස් හාරසීයක් රක්ෂණ සමාගමකට ආණ්ඩුව ගෙවලා තියනවා.

මේ මිලියන දෙදහස් හත්සීයෙන් මිලියන දාහක් ප්‍රතිරක්ෂණයට විදේශීය සමාගමකට ගෙවලා තියෙනවා. සාමාන්‍යයෙන් රක්ෂණ නීතියට අනුව ලෝකයේ කොතැනකවත් සමුහ රක්ෂණයක් කිසිම අවස්ථාවක ප්‍රතිරක්ෂණය කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ ළොකු අනතුරකින් සමුහයක් මිය යනවානම් පමණයි.

ලක්ෂ හතළිස් පහක් වන පාසල් දරුවන් පිරිසකට කවදාවත්ම එකවර අනතුරක් සිද්ධ වෙනේ නැහැ.

නමුත් මේ ආකාරයට විදේශීය රටවල් සමග ප්‍රතිරක්ෂණය කිරීමේ යටි අරමුණ තමයි ප්‍රතිරක්ෂණය කිරීමෙන් අතිවිශාල කොමිස් මුදලක් ලැබෙනවා. මේවා ප්‍රසිද්ධියේ සිද්ධ වෙන දේවල්. හැබැයි මේවා අනාවරණය කරන්න යනකොට ලොකු ප්‍රශ්න එනවා. ඇමති මණ්ඩලයේ ඉඳලා මේ දූෂණ අක්‍රමිකතා ගැන කතා කරනකොට අන්තිමට ඇමතිකමත් දාලා යන්න වුණා.”යැයිද පවසා සිටියේය.

ගීතාංජලී ප්‍රියදර්ශනී