රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා සැඳහා අඩු ආදායම්ලාභී පවුල්වල අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්
ලක්‍ෂයක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකායක් රජයේ දෙපාර්තමේන්තුවක් ලෙස පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සිදුවූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (12) පැවසීය. එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ලබන ජනවාරි 15 වැනිදා වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සම කැබිනට් ප්‍රකාශකවරයා කීවේය. මේ ඕස්සේ බඳවා ගන්නා තරුණ තරුණියන්ට මාස 6ක පුහුණු පාඨමාලාචක් පවත්වා එය සාර්ථකව නිම කරන්නන් ප්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම හා වැවිලි ආදී ක්‍ෂේත්‍රවල
අදාළ පුරප්පාඩු සඳහා පත්කරන බැව් ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී  ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි. රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් ඇතත් ඒ සඳහා බදවාගැනීමේදී අඩු  ආදායම්නලාහී කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු නොකර දේශපාලන හා වෙනත් අනුග්‍රහය මත බඳවාගන්නා බැවින් එය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සියලු ග්‍රාම සේවා වසම් නියෝජනය වන අයුරින් මේ  සඳහා තරුණ තරුණියන් බඳවා ගන්නා බව කී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රජයට, රජයට අනුබද්ධ ආයතනවලට මෙන්ම පෞද්ගලික අංශයට ද එම බලකායේ සේවය ලබාගැනීමට හැකිවනු ඇති බව පැවසීය. මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන පිහිටුවන නව දෙපාර්තමේන්තුව හරහා සකස් කෙරෙන බව ද අමාත්‍යවරයා කිවේය.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ අතර රාජ්‍ය සේවයට හදිසියේ තවත් ලක්ෂයක් බඳවාගන්නේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඔහු පැවසුවේ මෙම බඳවා ගැනීම් සිදුකරන්නේ දේශපාලන අවශ්‍යතාවක් මත නොව දැනට පවතින පුරප්පාඩු සඳහා බවයි. මූලික අධ්‍යපන සුදුසුකම් අවශ්‍ය නොවන රැකියාවල මෙන්ම විදුහල්පති සේවයේද පුරප්පාඩු 5000ක් පමණ තිබෙන බව ඇමතිවරයා කීවේය.

-ඩයනා උදයංගනී-