විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා හඳුන්වාදී තිබෙන "Z ස්කෝර් "ක්‍රමය වෙනස් කරන්නේ නම් එය ජාතික අධ්‍යාපන කොමිසම මූලික කරගෙන සිදුකළ යුතු බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.

එසේ නොමැතිව ජනප්‍රිය දේශපාලන තීන්දු තීරණ මත මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළහොත් සමස්ත උසස් පෙළ සිසුන්ටම අසාධාරණයක් සිදුවිය හැකි බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

දිස්ත්‍රික් පදනමින් ක්‍රියාත්මක වන ' zස්කෝර් ' ක්‍රමය හේතුවෙන් ඇතැම්
සිසුන්ට අසාධාරණයක් වන බැවින් එම ක්‍රමය කාලයට ගැළපෙන ලෙස වෙනස්විය යුතු බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එහෙත් අදාළ වෙනස් කිරීම ජාතික අධ්‍යාපන කොමිසම මූලික කර ගනිමින් විද්වතුන් හා ගුරු විදුහල්පති වෘත්තීය සංගම්වල අදහස් ලබාගනිමින් සැලසුම් සහගත ලෙස වෙනස්විය යුතු බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සදහන් කළේය.

දිස්ත්‍රික් පදනමින් ක්‍රියාත්මක වන ' Z ස්කෝර්' ක්‍රමය පාසල් මට්ටමට ගෙන යාම හොද දෙයක් බවත්, ඊට සාපේක්ෂව පාසල් දියුණු කිරීමට කටයුතු කළ යුතු බවත් ජාතික විදුහල්පති සේවා සංගමය සඳහන් කරයි.

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් වෙනුවෙන් මෙම ක්‍රමය හඳුන්වා දෙනුයේ නම් ඊට අදාළ කටයුතු මේ  වනවිට ආරම්භ කළ යුතු බවත්, සියලුම කටයුතු ජාතික අධ්‍යාපන කොමිසම මූලික කරගනිමින්, විද්වතුන්, වෘත්තීය සංගම් හා මීට සම්බන්ධ අනෙකුත් පාර්ශව වල අදහස් ලබාගනිමින් රටට ගැළපෙන හොඳම ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒම සංගමයේ සභාපති විදුහල්පති මොහාන් ගුණසිංහ මහතා සඳහන් කළේය.

එච්.අයි. තුෂාර