චිත්‍රපට නිෂ්පාදකයන්ට ණය ලෙස ලබාදුන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට මෙතෙක් ගෙවා නැතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. 1964 සිට අවුරුදු 56ක
කාලයක් තිස්සේ චිත්‍රපට 178කින් මෙසේ මුදල් අයවිය යුතුව තිබෙන අතර ඒවායෙන් චිත්‍රපට 101ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් වී නැතැයි ද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තාවක දැක්වේ.

චිත්‍රාගාර සේවා, දළ සේයා පට මිලදී ගැනීම, පිටපත් මුද්‍රණය, රසායනාගාර සේවා, ශබ්දාගාර සේවා,
ශිල්පීන්ට ගෙවීම, සංස්කරණ සේවා යන හේතූ මත මෙම ණය මුදල් ප්‍රදානය කර ඇති අතර එම ණය ගෙවා අවසන් කරන්නැයි අදාළ නිෂ්පාදකවරුන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි ද විත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙරේදා (29 වැනිදා) පැවැසීය.

මෙම ණය හිමියන්ගේ ලැයිස්තුවෙහි පැරැණිම චිත්‍රපටය ලෙස 1964 ඔක්තෝබර් 22 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ  ශාන්ති ෆිල්ම්ස් නිෂ්පාදනය කළ 'සසරක හැටි' චිත්‍රපටය සඳහන් වන අතර ආසන්නතම චිත්‍රපටය ලෙස සඳහන්  වන්නේ 2017 වසරේදී ණය මුදල් ලබාගත් ඒ.ඒ.ඒ. ක්‍රියේෂන්ස් සමාගම නිෂ්පාදනය කළ ‘නැති බැරි ටාසන්’ චිත්‍රපටයයි.

රුපියල් 750ක් හැටියට අඩුම ණය මුදල ලෙස 1994 දී ණය ලබාගත් සරසවි චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ  ‘ඇතිදා මිතුරු නැතිදා හතුරු' චිත්‍රපටය සඳහන් වන අතර එය ප්‍රදර්ශනය කෙරී නැත. රුපියල් ලක්ෂ 35ක් හැටියට වැඩිම ණය මුදල අයවිය යුතුව තිබෙන්නේ 2011 දී 'ගුරු ගීතය' චිත්‍රපටය නිෂ්පාදනය කළ මූන්ස් ටෝන් මූවි පෞද්ගලික සමාගමෙනි.

-සමන්ත යහම්පත්-