මෙම මාසයේ ගතවූ දින 30 ක කාලය තුළදී තත්ත්වයෙන් බාල බව තහවුරු වූ දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ‘‘මෙට්ෆෝමින්’’ පෙති ඇතුළු බෙහෙත් එන්නත්, ශල්‍ය ද්‍රව්‍ය වර්ග 14 ක් රජයේ රෝහල්වල භාවිතයෙන්
ඉවත් කිරීමට

වෛද්‍ය සැපැයුම් අංශය විසින් පියවර ගෙන තිබේ.

මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් වර්ග අතර මෙරට නිෂ්පාදිත දියවැඩියාව සඳහා ලබා දෙන ‘‘මෙට්ෆෝමින් මිලිග‍්‍රෑම් 500 පෙති මෙන්ම ඉන්දියානු බෙහෙත් සමාගමකින් ආනයනය කරන ලද ‘‘මෙට්ෆෝමින්’’ පෙති, මල්ටිවිටමින් ඩ්‍රොප්ස්, ‘‘සෙෆියුරොක්සිම්’’ එන්නත් ඇතුළු බෙහෙත් එන්නත්, ශල්‍යද්‍රව්‍ය වර්ග 14 කට අයත් භාණ්ඩ මෙසේ තත්ත්ව පරීක්‍ෂාවේදී බාල බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කර ඇතැයි වෛද්‍ය සැපැයුම් අංශය පවසයි.

මෙම වසරේදී මේ දක්වා තත්ත්වයෙන් බාල බව තහවුරු වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වලින් භාවිතයෙන් ඉවත් කරන ලද මුළු බෙහෙත් එන්නත් හා ශල්‍යද්‍රව්‍ය වර්ග සංඛ්‍යාව 95 කි.

ඒමන්ති මාරඹේ