රුපියල් කෝටි 200කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 102ක තොගයක්ද, මිලි මීටර් 9 නවීන පිස්තෝල 10ක් සහ එම මැගසින් 19ක්ද සමග සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවකු බස්නාහිර උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මදුරප්පෙරුම කාංචනා ප්‍රියදර්ශනී මදුරප්පෙරුම (28) සහ මදුරප්පෙරුම ධනංජය ධර්මකුමාර (26) යන සහෝදර සහෝදරියන් දෙදෙනාත්, ධර්මකුමාර නමැත්තාගේ පෙම්වතිය බව කියන බෙත්මගේ උපේක්ෂා පියුමි (22) නමැත්තියත් මෙසේ අත්ඩංගුවට ගනු ලැබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.  සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන කාංචනා මදුරප්පෙරුම නමැත්තිය මීට වසරකට පමණ ඉහත දී මහරගම ඇරෑව්වල නිවසකින් කෝටි 700 නිල් දියමන්තිය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳින මාතර මල්ලි නැමැත්තාගේ බිරිය බවත් ඇය මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිසිය කියයි.

මිරිස්සේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ බණ්ඩාරගමට මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන එන බවටත් කාන්තාවක විසින් මෙම ජාවාරම මෙහෙයවනු ලඛන බවටත් බස්නාහිර පළාත උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහරුන්ගේ අධීක්‍ෂණය යටතේ, පොලිස් කොට්ඨාස කිහිපයක සිටින විශේෂ කාර්ය බලකයෙන් සාමාන්‍ය පොලිස් සේවයට එක්ව සිටින පොලිස් නිලධාරින්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.

අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරිකෂක මංජුල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.මෙම විශේෂ පොලිස් කණ්ඩායමට විශේෂ කාර්ය  බලකායේ සිට පොලිසියට අනුයුක්තව පොලිස් කණ්ඩායමක් තෝරාගෙන තිබූ අතර අහංගම පොලිසියේ සිට මෙම සියලු මෙහෙයුම් සිදුකර තිබිණි.

පොලිස් නිලධාරීන් දින කීපයක් පුරෑ එම ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් සිටි අතරේ මාතර මල්ලී නමැත්තාගේ බිරිය වන කාංචනා නැමැත්තිය වෙනත් පාර්ශ්වයක් වෙත ඛාර දිම සදහා හෙරොයින් රැගෙන සිය සොහොයුරි සමග වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ගැලණිගම ප්‍රදේශයට පැමිණෙන බවට නිලධාරීන්ට කල් තියා තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව පොලිස් ස්ථානාධිපති මංජුල සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායම පෙරවරුවේ සිට එම ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියේ නිරත වී සිටිය දී පෙරවරු 7.00ට පමණ සැකකටයුතු ලෙස ගමන් ගත් යතුරු පැදියක් නවතා  එහි ගමන්ගත් ප්‍රියදර්ශනී මදුරප්පෙරුම සහ ධනජජය ධර්මකුමාර යන දෙදෙනා පරික්ෂා කිරිමේ දී ඔවුන් සතුව තිබූ හෙරොයින් කිලෝ 15ක්  පමණ සොයාගෙන ඇත.

සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔවුන්ගේ හෙරොයින් තිප්පොළ ලිංග පිළිබඳව සියලු තොරතුරු හෙළි  වූ බවත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සැකකරු හා සැකකාරිය  සමග එම නිවස වෙත යද්දී සැකකාරිය පොලිස් නිලධාරින් නොමග යැවීම  සඳහා මුලින්ම පෙන්වා ඇත්තේ ඔවුන් පදිංචි නිවස බවත් පොලිසිය කියයි. එම නිවස පරික්‍ෂා කළ පොලිස් නිලධාරීන්ට එහි තිබී හෙරොයින් හමුවී නොමැති අතර සැකකරුගෙන් හා සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී ඔවුන් මෙම ජාවාරම  සඳහා භාවිත කරන කුලී නිවසකට ගොස් ඇති අතර එහි අල්මාරියේ හා කබඩ් එකක් තුළ සගවා තිබූ තවත් හෙරොයින් කිලෝ 177ක් හා පිස්තෝල 10ක් සොයා ගෙන ඇත. එම නිවසේ ධර්මකුමාර නැමැත්තාගේ පෙම්වතිය  සිට ඇති අතර ඔවුන් මෑතක දී විවාහ විමට සූදානමින් සිට ඇති බවත් පැවසේ.

මොවුන් මීට සති කිහිපයකට පෙර හෙරොයින් ජාවාරම සදහාම මෙම නිවස කුලියට ගෙන ඇති බව පොලිසිය පවසයි. මෙම හෙරොයින් ඉරානයේ සිට මුහුදු මගින් මෙරටට ගෙන්වා ඇති බවත් මීට සතියකට පමණ පෙර මිරිස්සේ සිට මේවා මෙම නිවසට රැගෙනවිත් තිබූ බවත් පරිකෂණවල දී හෙළි වී තිබේ. මෙම නිවසේ තිබී අත්අඩංගුවට ගත් පිස්තෝල 10 අති නවින ඒවා බවත් ඒවා ඇමෙරිකාවේ, පාකිස්ථානයේ, ඔස්ට්‍රේයාවේ සහ චීනයේ නිෂ්පාදිත පිස්තෝල බවත් මේවා ආරක්‍ෂක අංශ පරිහරණය කරන ඒවා බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගති ඇතැම් හෙරෝයින පැකට්වල කිලෝ 1යි ග්‍රෑම් 200ක් පමණ ප්‍රමාණයක් තිබි ඇති අතර මෙම පැකට් සියල්ලේම 999 වශයෙන් අංකයක් සටහන් කර තිබිණි. මොවුන් මේවා පාතාල සාමාජිකයන්ට අලෙවි කිරිම සඳහා රැගෙන එන්නට ඇති බවට සැකකරන අතර හෙරොයින් ජාවාරම්කරුවන් ළග තිබී මේ ආකාරයේ නවීන පිස්තෝල 10ක් සොයාගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන බව පොලිසිය කියයි.

මෙම හෙරොයින් ජාවාරම පිටුපස සිටින දකුණේ පාතාල සාමාජිකයන් රැසකගේ තොරතුරු හෙළිවී
ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකර ගැනීම සඳහා සැකකරු හා සැකකාරියන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනු ලබේ. මෙම හෙරොයින් තොගය දැනට අත්අඩංගුවේ පසුවන මකඳුරේ මධුෂ් නමැත්තාට අයත් හෙරොයින් තොගයක් බවට සැකකරන බවත්, මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයකු වන කැවුමා නමැත්තා විසින් මොවුන්ට මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවද කියති.
සැකකාරිය හා සැකකරුට හෙරොයින් ජාවාරම සඳහා මෙම නිවස කුලියට සොයා දී ඇත්තේ කැවුමා නමැත්තා විසින් බවද පොලිසිය පවසයි.