ක්‍ෂය රෝගය වැලඳීම හේතුවෙන් 2019 වසරේ මුල් මාස නවය තුළ රෝගීන් 27ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රත්නපුර මහ රෝහල් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.  රත්නපුර දිස්ත්‍රික් ක්‍ෂය රෝග මර්දන කමීටුව අමතමින් පසුගිය 27දා හෙතෙම මේ බව පැවසීය. ක්‍ෂය රෝගය හේතුවෙන් මරණය සිදුවීමේ අවදානම වැඩි වුවත් ඒ සම්බන්ධයෙන්
සමාජයේ, ජනතාවගේ හෝ වෙනත් පාර්ශවල අවදානය ඉතා පහළ මට්ටමක පවතින බවද විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රත්නපුර මහ රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා,

"මේ මියගිය අයගෙන් එකෙනක් දෙන්නෙක් මියගියේ රෝගයට අදාළව නොව වෙනත් රෝග හේතුවෙන් වෙන්න පුළුවන්, නමුත් මියයන අවස්ථාවේ ඔවුන් ක්‍ෂය රෝගීන් ලෙස හඳුනාගත් අය. මියගිය 27 දෙනා අතරින් මිය යා නොදී සුවකරන්න පුළුවන් අය ඉන්න ඇති. නමුත් රෝගය උත්සන්න වෙලා ප්‍රතිකාර ආරම්භ කළාම සුවකරන්න අමාරුයි.
අසාධ්‍ය තත්වයට පත්වුණ ක්‍ෂය රෝගියෙක් තියාගන්න තැනක් නෑ. දැඩි සත්කාර ඒකකවලට ඒ රෝගීන් ගන්නේ නැ. රට පුරා ක්ෂය රෝග ආසාදනය වී එහෙත් ප්‍රතිකාර සඳහා යොමු නොවු අය රෝගය නිරන්තරයෙන් පතුරුවනවා.ඒ හිතාමතා නෙවෙයි. නොදැනුවත්කම නිසා.

සමහරවිට ඔබට දින ගණනක් තිස්සේ තියන නොනවතින කැස්ස ක්ෂය රෝග ආසාදිතවීම නිසා ඇති වූ එකක් වෙන්නැති. ඔබට ළය පහලට ඇවිත් ප්‍රතිකාර ගන්න ඕනෑකම ඇති, ඒත් එන්න ඔබ කැමති නෑ. සමාජයේ පවතින ආකල්ප ක්ෂය රෝගය වර්ධනය වීමට එක හේතුවක්. වෙනත් රෝග වගේ නෙමෙයි ක්‍ෂය රෝගය බෝවෙන්නේ දුප්පතුන්ට කියා සමහරු විශ්වාස කරනවා. එහෙම එකක් නෑ. දැන් බලන එක ඩෙංගු රෝගියෙක් මැරුණම දෙන ප්‍රසිද්ධිය ක්‍ෂය රෝගයට දෙන්නේ නෑ. සති කිහිපයක් පුරා නොනැවතී පවතින කැස්ස වැනි මූලික ලක්‍ෂණවලට ප්‍රතිකාර නොගැනීම නිසයි රෝගය පැතිර යන්නේ.

අපි විශ්වාස කරනවා ක්ෂය රෝග ආසාධිතයන් විශාල ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා. ඔවුන් දන්නෙත් නෑ තමන් එය රෝග  ආසාදිතයෙක්ද කියලා. නමුත් ප්‍රතිකාර නොගැනීම හින්දා ඒ ආසාධිතයන් රෝගය පතුරුවනවා.ක්‍ෂය රෝගය සුවකළ හැකියි. නොමිලේ ප්‍රතිකාර කරනවා.
පවතින සමාජ වැරදි ආකල්ප නිසා කැස්ස නිතර තියන කෙනෙක්වත් ළය චිකිත්සාගාරයට එන්න කැමති නෑ. අනන්‍යතාවට හානි වෙයි කියලා හිතලා ගමේ ඉස්පිරිතාලෙට ගිහිං සෙම පටල පරික්ෂාවක් කරගන්නේ නෑ." විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසූයේය.

රත්නපුර ළය චිකිත්සාගාරයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය බුද්ධික රණසිංහ මහතා මෙහිදි පැවසුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව සිටින ජනතාව අතර ක්‍ෂය රෝග ආසාදිතයන් වැඩිපුර සිටිය හැකි බවයි.  ඔවුන් ජීවත්වන වටපිටාව, චර්යාවන්, සැලකිල්ලට ගෙන එවැනි අනුමානයන් කළද සෙසු ප්‍රදේශවලද මේ වනවිට ක්‍ෂය රෝග ආසාදිතයන් වැඩිපුර සිටිය හැකි බව ඒ මහතා පැවසීය. එසේම ක්‍ෂය රෝග ආසාදිත ළමයිද සාමාජය තුළ සිටිය හැකි බැවින් නොනවතින කැස්ස වැනි රෝග ලක්‍ෂණ ඇතිනම් ප්‍රතිකාරවලාට යොමුවන ලෙස වෛද්‍ය බුද්ධික රණසිංහ මහතා ඉල්ලා සිටියේය.

-අජිත්ලාල් ශාන්තඋදය-