මේ රටේ වැඩකරන වසර ලෙස 2020 පළමුවැනිදාම සිය කණ්ඩායම් වැඩ පටන් ගත් බවත්, පසුගිය කාලයේ පැවතුණු තත්ත්වය අනුව අමාත්‍යාංශවලට, ඊට අයත් ආයතනවලට ඇමතිවරු
පැමිණ නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
හෙතෙම මේ බව පැවසුයේ ඊයේ (02දා) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ශිෂ්‍ය නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 "මම මේ අමාත්‍යාංශයට එනකොට මෙහි සියලුම සිසුන්ට වහලා තිබුණා. මම දරුවට කතා කරලා කිවුවා අපී ඇවිත් ඉන්නේ එන්න කතා කරන්න කියලා. වැඩ භාරග‍ෙන පහුවැනිදා උදෑසන 7.30ට මම ඔවුන් හමුවෙලා වැඩ පටන් ගන්නේ. හැබැයි අවාසනාවට ඒ සියලු සාකච්ඡා මාධ්‍යයට විවෘත වුණේ නැහැ.
මින් පසුව මේ සාකච්ඡාවල කිසිවක් කිසිවකුට හංගන්න අවශ්‍ය නැහැ. අපි දැන් ක්‍රියාත්මක කරන්නේ කාගේත් න්‍යාය පත්‍රය න‍ෙමෙයි. ජාතියේ න්‍යාය පත්‍රය. රටේ න්‍යාය පත්‍රය. මම විවෘතව විශ්වවිද්‍යාල තුළ තිබෙන ගැටලුවලට මැදිහත්වෙලා මේ වනවිට ගැටලු රැසක් තිබුණු තැන්වල ගැටලු විසඳුවා. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍යය ආයතනයේ ඇතිවලා තිබුණු ගැටලුව මම එම ස්ථානයට ගිහින් සිසුන් හමුවෙලා ඉක්මනින් විසඳුවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙත් එහෙම ගැටලුවක් තිබිලා විසඳුවා, සෟන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා පිළිබඳ ගැටලුවක් තිබුණි. ඒක විසඳුවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා විශ්‍රාමික හමුදා නිලධාරීන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට ගැළපෙන්නේ නැහැ කියා. ඒ නිසා පසුගිය යුගයේ එහ‍ෙම
පත්කරලා තිබුණු අය ඉවත් කරලා උගත් පළපුරුදු සිවිල් ආචාර්ය මහාචාර්යවරු ඒ සදහා පත්කළා. ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන රටාවක් තුළ නිදහස් දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව දැන් අපේ රජය විසින් උදා කරලා දීලා තියනවා. ඒ වරම දරුවන්ගෙන් පැමිණිලි ආවා මඩකලපුව නැග‍ෙනහිර  විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයනය සඳහා අදාළ ගොඩනැගිලි විවෘත කරන්නේ නැහැ කියලා. අපි මේ 06 වැනිදාට විශ්වවිද්‍යාලයට යනවා. සාකච්ඡා කරන සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ කොහොමද කියලා හොයලා බලලා සිසුන්ගේ පහසුකම් සලසා දෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගෙන ඉන්නවා කියලා දරුවන් අපිටඇවිත් කිවුවා. මම ඒ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට කතා කරලා කිවුවා මේක සාකච්ඡාවෙන් විසදගන්න අපට අන්තිම අවස්ථාවක් ලබාදෙන්න කියලා.
කතා කරලා මේ ගැටලු විසඳගන්න අපිට පුවන්, එහෙම නැතුව දවස ගානේ කඳුළු ගෑස් ගහලා, ප්‍රචණ්ඩත්වයන් ප්‍රශ්න කවදාද ඉවර වෙන්නේ. මේ දේවල් කවද හරි ඉවර වෙන්න ඕනේ." යැයි පැවසීය, මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතාද ශිෂ්‍ය නියෝජිතයෝ රැසක්ද එක්වූහ.
  -සාකල්‍යා සදමාලි-