කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුඛ ආවරණ මිලදීගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක උපදෙස් දී නොමැති බව රජය අවධාරණය කරයි.ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේදී පැවති ඩෙංගු
වසංගතයෙන් පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් මියගිය බවත්, කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්‍ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 29දා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජය තුළ බොරු බියක් නිර්මාණය කර ඇති බවත්,
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වූ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් ප්‍රචාරණය කළේනම්, මේ වනතුරු කිසිදු සංචාරකයෙක් ගෙන්වා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේත්ය.  එමෙන්ම මේ වනවිට පාසල් වසා දැමීමට හෝ ක්‍රීඩා උත්සව නැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම මාධ්‍ය හමුවේ
වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

"කොරෝනා වෛරය සම්බන්ධයෙන් දරුවන් සහ දෙමවුපියන් අතර විශාල භීතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා. සමාජ ක්‍රමය තුළ පමණට වඩා බියවූ තත්ත්වයක්, ජනමතයක් ලෙස කාන්දු වන බව පෙනෙන්නට තිබෙන බව අග්‍රාමාත්‍යතුමා සමග පැවතුණ සාකච්ඡාවේදීත් සාකච්ඡා වුණා. පමණට වඩා තාව බියගන්වීමේ ව්‍යාපාරයක් තිබෙන බව එහිදී අවධානයට ලක්වුණා. අපේ රටේ ඩෙංගු වසංගතයක් තිබුණා. ඒ කාලයේදී පාසල් දරුවෝ පමණක් නෙමෙයි වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ දරුවන් පවා බේරාගන්න නොහැකිව මියගියා. 100ට අධික සංඛ්‍යාවක් මියගියා. ඩෙංගු උවදුර මැඩලීම් සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ විට අපේ රට සම්බන්ධයෙන් විදේශීය රටවල ප්‍රචාරය උනානම් මේ වෙනතෙක් කිසිම සංචාරකයෙක් ලංකාවට ගෙන්වාගන්න වෙන්නේ නැහැ.

මීට පෙර මැලේරියා වසංගත පැවති කාලයේ රට තුළ මැලේරියා වසංගතය අවම කරගැනීම සඳහා කැපවී කටයුතු කළ නායකයන් සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත චක්‍රලේඛ නිකුත්කර තිබෙනවා.පාසල් සිසුන් මුඛ ආවරණ මිලට ගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දීලා නැහැ. ඒනිසා බොරදියේ මාළු බාන්න උත්සාහ කරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ තත්වය යටතේ අධික මිලට මුඛ ආවරණ අලෙවි කරන බව වාර්ත වෙනවා. ඒ නරක තත්වයක්. මුඛ ආවරණ පලඳින්න අවශ්‍ය වුණොත් ඒ බව මේ අමාත්‍යාංශ දැනුම් දෙනවා. දැනට එවැනි තත්වයක් අවශ්‍ය නැහැ. ඒ වගේම පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් පිළිබඳ කිසිම තීන්දුවක් අරගෙන නැහැ.

ඩෙංගු වසංගතය පැවැති කාලපරිච්ඡේදය තුළදී පාසලේදී ඩෙංගු හැදිලා පාසල තුළදී දරුවෙකු මියගියත් එක දවසක්වත් පාසල වැහුවේ නැහැ. වසංගතය පිටුදැකීමට අවශ්‍ය ජාතික වැඩසටහනක් තමයි ඒ වෙනුවට ක්‍රියාත්මක කළේ. පාසල් සිසුන් මේ රෝගයට ගොදුරු වුණ බව හඳුනාගෙන නැහැ. හදිසි දරුණු වසංගත තත්වයක් පවතිනවා නම්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්‍ෂණිකව නිකුත් කරනවා. කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරණවලට බියවීමට අවශ්‍ය නැහැ.

චීනය කියන්නේ අපේ රටට අමාරු අවස්ථාවලදී දුක්වී සැදී පිහිටවෙන්න හිටපු මිත්‍ර රටක්. ජාත්‍යන්තර මට්ටමේ විවිධ ක්‍රියාවලදී චීනය ශ්‍රී ලංකාවට උදවුකර තිබෙනවා. ඒ නිසා චීනයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය ගැන
බලවත් ලෙස කම්පනයට සහ කනගාටුවට පත්වෙන අතර, මේ වෙනුවෙන් චීන රජයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය.

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය මගින් ලබාදුන් උපදෙස් මාලාව ඒ ආකාරයෙන්ම පාසල් වෙත යොමු කළා. ඒ වගේම විදුහල්පතිවරු නිතරම අපෙන් අහනවා ක්‍රීඩා උත්සව නවත්වන්නද කියලා. ක්‍රීඩා උත්සව හෝ බාහිර ක්‍රියාකාරකම් කිසිවක් නවත්වන්න එපා කියලා අපි උපදෙස් දී තිබෙන්නේ. මොකද එහෙම එකක් හරි නැවැත්තුවොත් අනවශ්‍ය බියක් රට තුළ ඇති වෙනවා. වැරදි ප්‍රචාර යනවා. අධ්‍යාපන බලධාරීන් සියලු දෙනාම මේ අවස්ථාවේදී අවධානය යොමුකර අනවශ්‍ය බියක් ඇති නොකර දරුවන්ට පාසලට වෙනදා වගේ එන්න දෙන්න කියා ඉල්ලා සිටිනවා."

"මේ වනවිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති වී තිබෙනවා. නිවැරදි තොරතුරුවලට වඩා වැරදි තොරතුරු සමාජගත වීමේ ප්‍රවණතාව වැඩි නිසා මේ බිය වැඩි වී තිබෙනවා. මේ රෝගී තත්වය බෝ වන රෝගී තත්වයක්. කොරෝනා කියන වෛරසය මගින් බෝ වන්නේ. මේ වෛරසයට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඒ නිසා බෝ වීම වැළැක්වීමයි සිදුකළ යුත්තේ. සාමාන්‍ය වෛරසයක් වැලඳුණ අයට කරන ප්‍රතිකාර තමයි මේ වෛරසය වැලඳුණ අයට සිදුකරන්නේ.

කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම වෛරසයක් නෙවෙයි. මීට කලින් සාස් ආදී මේ  වෛරසයේ වෙනත්තත්වයන් ලෝකයේ ඇති වුණා. ඒ වගේ මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරීලා මීට වඩා දරුණු අන්දමේ මරණ වාර්තා වුණා. ඒ අනුව බලද්දී කොරෝනා වෛරසය කලින්  වෛරස තරම් දරුණු නැහැ. නමුත් පැතිරීමේ වේගය අනිත් වෙරලට වඩා වැඩියි. නමුත් මරණ ප්‍රමාණය සහ සංකුලතා අඩුයි. මේ නිසා මේකට බය වෙන්න හොඳ නැහැ. නිවැරදි ක්‍රම අනුගමනය කිරීමයි වැදගත් වෙන්නේ.  මේ රෝගය රටට ඇතුළු වෙනවාද කියා සොයාබැලීමට වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒවගේම සමාල්ගත වූවන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කර තිබෙනවා.

රෝගියෙකු හමුවුණාත් ඔහු වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 12ක් නම් කර තිබෙනවා. මේ වනවිට මුඛ ආවරණ පැලදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු දැනුම්දීමක් සිදුකර නැහැ. එහෙම අවශ්‍යතාවක් රට තුළ උදාවෙලා නැහැ. මේ රෝගී තත්වය හේතුවෙන් පාසල් තුළ හෝ කිසිම ස්ථානයක මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාවක් මතුවෙලා නැහැ. ඒ නිසා ජනතාව කලබල විය යුතු නැහැ. ඒ වගේම මේ වෛරසය භාණ්ඩ මගින් පැතිරෙන්නේ නැහැ. ජනතාව ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඒවගෙන්ම මේ දිනවල කොරෝනා වෛරසයට අමතරව රට තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරෙමින් තිබෙනවා. මේ රෝග දෙකම එක වගේ.

එකම රෝග ලක්‍ෂණ තිබෙන්නේ. එහෙම කියලා මේ දෙක පටලවා ගන්න එපා. වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඉල්ලුවන්සා රෝගීන්ට මුඛ ආවරණ පලඳන කියලා කියනවා මොකද ඔවුන් මගින් අනිත් අයට මේ රෝගය වැලඳීම වැළැක්වීම සඳහා. ඒ නිසා කැස්ස, හෙම්බිරිස්සාව තිබෙන කෙනෙක් මුඛ ආවරණය පැලදීම වැදගත්. යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියා අපි ඉල්ලා සිටිනවා.”

-චාමර සම්පත්-