ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මාරුවීම්  ප්‍රතික්ෂේප කරමින් එකම විදුහලේ වසර ගණනාවක් කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි. ගුරුවරුන් වසර 10න් පසුව හා විදුහල්පතිවරුන් වසර
6ක සේවා කාලයකින් පසු මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම නීතිය වුවද ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් විවිධ බලපෑම් කරමින් එකම පාසලේ කටයුතු කරමින් සිටින බව ද එම නිසා දක්ෂතා සහිත නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ නවක විදුහල්පතිවරුන්ට අවස්ථා අහිමි වී ඇතැයි ද එම සංගමය පවසයි.


මේ අතර කොළඹ ජනප්‍රිය බාලිකා පාසල් කීපයක විදුහල්පතිනියන්ට මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇතැයි ද ඔවුන් එකම පාසලේ දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව ද කළ සොයා බැලීමකදී අනාවරණය විය.අධ්‍යාපන ලේකම්වරයාගේ සහ අනෙකුත් උසස් නිලධාරිගේ නොතකා කොළඹ ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් ඉකුත් කාලයේ පාසලට සිසුවියන් කිහිපදෙනකු ඇතුළත් කරගෙන ඇති බව ද වාර්තා වේ.

මෙම විදුහල්පතිනිය දිගින් දිගටම දරදඬු අයුරින් කටයුතු කරමින් සිටින අතර නියෝජ්‍ය විදුහල්පතිනියන්ට පවා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවට ද චෝදනා එල්ල වී ඇත. මේ වනවිට ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල ක්‍රියාත්මක වන නමුත් ස්ථාන මාරුකර තිබෙන ඇතැම් ගුරුවරුන් ඒවා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව ද පැවසේ.  තවත් ගුරුවරුන් පිරිසක් ස්ථාන මාරු ලබුව ද එම ගුරුවරුන් අනුයුක්තියක් මත නැවත පැරැණි පාසලේ කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.