ප්‍රගීත් එක්නැළියගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ නොකරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සන්ද්‍යා එක්නැළිගොඩ මහත්මිය ඊයේ (31දා) පැවසුවාය. පාඨලී චම්පික රණවක මහතා
සමග දේශපාලන ප්‍රශ්නයක් තිබේ නම්, එය ඔහු සමග විසඳගන්නා මෙන් අදාළ පාර්ශවලින් ඉල්ලා සිටින බවද එක්නැළිගොඩ මහත්මිය ප්‍රකාශ කළාය.  ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් පවත්වාගන යන නඩු විභාගයට අදාළ නැති විවිධ පුද්ගලයන් එම නඩු කටයුත්තට බලපෑම් කරමින් සිටින බවද ඒ මහත්මිය සඳහන් කළාය.

දේශපාලන වුවමනාවන් සදහා ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධිය භාවිත නොකරන මෙන් එම පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළාය.  ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ නඩු විභාගයට
හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ නොදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බවද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පැවසුවාය. ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය තමන්ට හා රටේ ජනතාවට ලබාදීම රජයේ වගකීම බවද එන්නැළිගොඩ මහත්මිය සඳහන් කළාය. කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාචකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය,

"2009 අගෝස්තු මාසයේදී ප්‍රගීත් පළමුවැනි වතාවට පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහින් ඊට පහුවැනිදා උදේ ප්‍රගීත්ව මුදාහැරියා. 2010 ජනවාරි 24 වැනිදා ප්‍රගීත්ව නැවත පැහැරගෙන ගිහින් අතුරුදන් කළා. 2015 වෙනකම් මේ දේවල් කළේ කවුද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ප්‍රගීත්ට පෞද්ගලික හතුරා හිටියේ නැහැ.  ඒ වනකොට තිබුණ දේශපාලන තත්ත්වය සහ රටේ තිබුණ හොරකම් දූෂණ ගැන ඔහු ලියලා තිබුණි. මෙයට අමතරව ඔහු රසායනික අවි පිළිබඳ ලිපියක් පළ කළා. ඒ පිළිබඳ විවිධ කණ්ඩායම් දැනුවත් කළා. ප්‍රගීත් ඒ ලිපිය ලිව්වෙත් ඔහුට ලැබුණු දත්ත මතයි. ඒ හැරන්න ප්‍රගීත් කාටවත් මඩ ගැහුවේ නැහැ. ප්‍රගීත් පළමු වතාවට පැහැර ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට ඒක පාදක වෙන්න ඇති කියා මා විශ්වාස කරනවා. පළමු වතාවේ ප්‍රගීත් මුදාහැරීය එම කණ්ඩායමම 2010 ජනවාරි 24 වැනිදා ප්‍රගීත්ත්ව පැහැරගෙන අතුරුදන් කළ බව විමර්ශන මගින් හෙළි වෙලා තියනවා.

දැනට මේ කණ්ඩාමට එරෙහිව හෝමාගම සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු ගොනු කරලා තියනවා. මටත් ප්‍රගීන්ටත් මඩ ගහන එකත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් එම කණ්ඩායම යළි ආරම්භ කර තිඛෙනවා. මේ වනවිට තියෙන සාක්‍ෂි විනාශ කරලා සාක්ෂිකරුවන් බිය ගන්වලා ඒ මත මේ නඩුව අවුල් කිරීමේ උත්සාහයක් තියෙනවා.මෙම අපරාධය හා සම්බන්ධ දැනට හඳුනාගෙන සිටින මෙම හමුදා බුද්ධි අංශ නිලධාරින් නිදොස් කොට නිදහස් කරන්නවත්, මේ අපරාධය වසන් කරන්නවත් එපා කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගහන්න එපා කියන ඉල්ලීමත් සිතින් සහ යුක්තිය ඉෂ්ඨ කරන්න කියන ඉල්ලීමත් මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ අධිකරණ ක්‍රියාදාමය 2015 සිට 2019 කාලය වගේ ස්වාධීනව ක්‍රියාත්මක වුණොත් පමණයි මට සහ දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙන්නේ. මේ සිද්ධියේ සත්‍ය ජනතාවට දැනගන්න නම්,
මේ අධිකරණ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීම නැවැත්විය යුතු වෙනවා. 2010 සිට 2015 දක්වා කාලය තුළ මේ රටේ බලයේ හිටියේ රාජපක්‍ෂලා. එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ට තිබුණූ මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඔවුන් ඒක කළේ නැහැ. මේ නඩුවට අදාළ නැති විවිධ පුද්ගලයන් මේකට දැන් බලපෑම් කරමින් සිටිනවා.

මේක අපරාධයක් මේකට අනුබල දෙන අයත් අපරාධකරුවමයි. ඒ නිසා මම ඒ අයට කියන්න කැමතියි තමන්ගේ දේශපාලන වුවමනාවන් සදහා ප්‍රගීත්ගේ අතුරුදන්වීම පාවිච්චි කරන්න එපා කියලා.  ඒ අයට පාඨලී චම්පික රණවකටත් එක දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔහුත් එක්ක ඒ දේවල් විසදගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ප්‍රගීත්ගේ අතුරුදන්වීම සහ මේ නඩුත් එක්ක පාඨලීව සම්බන්ධ කරන්න එපා. මොකද ප්‍රගීත්ව පැහැර ගැනීම මෙහෙය වූයේ කවුද කියා අද මේ රටම දන්නවා. මේ වනවිට හෙළි නොවූ සත්‍යත් ඒකයි.

මේ නඩුව ගැන මේ ලෝකෙම බලාගෙන ඉන්නවා. මේ අපරාධය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ට නිදහස් තමන් දුටු දේ, දන්න සත්‍ය හෙළිකිරීමට ඉඩ දෙන්න. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වළකින්න කියලා මේ රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියාය.

-අමිත් මධුරංග-