ගල්නෑව රණවිරු ගම්මානයේ නිවෙසක තිබූ නළ ළිඳකින් පසුගියදා (25දා) සිට ජලය සමඟ මිශ්‍ර වූ කළු පැහැති කිසියම් දැවෙනසුලු තෙල් වර්ගයක් මතුවී ඇත. මෙලෙස තෙල් මතුව ඇත්තේ ගල්නෑව රණවිරු ගම්මානයේ
පදිංචි වීර සුසන්ත මහත්මාගේ නිවස පිටුපස සාදා ඇති නළ ළිඳෙහිය. නිවැසියන් වැඩිදුරටත් අප සමඟ පවසා සිටියේ අඩි එකසිය පනහක් පමණ ගැඹුරකින් යුත් මෙම ළිඳෙහි ජලය මිට පෙර නිවෙසේ එදිනෙදා පරිභෝජන කටයුතු සඳහා කිසිම ගැටලුවකින් තොරව යොදාගත් බවයි.

පසුව ඉකුත්ද සවස වීර සුසන්ත මහත්මා දිය නාන අවස්ථාවේ තමන්ගේ ශරීරයේ තෙල් තැවැරී ඇති අයුරු දැක තිබේ. අනතුරුව ළිඳේ ජලය පරීක්ෂා කිරීමේදී කහ පැහැති ජල මිශ්‍ර තෙල් දැක ඇති අතර පසුදින පරීක්ෂා කිරීමේදී ජලයෙහි  කලවම්ව තිබෙන තෙල් කළු පැහැතිව දක්නට ලැබී ඇත. මේ පිළිබඳව සොයා බැලිමට ගිය අපට දැකගත හැකිවූයේ මෙම නළ ළිඳෙහි ජලයටද කිසියම් තෙල් වර්ගයක් කලවම්ව ඇති බවයි. එහි භූමිතෙල්වලට සමාන ඇති සුවඳද මතුවන අතර එම කළු පැහැති දියර වර්ගය ඇවිළෙන ගතියක්ද දක්නට ලැබිණි. පසුව ඒ අවට ඇති තවත් නළ ළිං කිහිපයක් පරීක්ෂා කළ අපට මෙවැනි තෙල් මිශ්‍ර ජලය එම ළිංවල  නොතිබිණි.වීර සුසන්ත මහතා අප සමග අදහස් දක්වමින්,


මේ ළිඳ කපලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒ ඉඳන් මේ වෙනකල් හොඳට පැහැදිලි වතුර තිබ්බා. මේක ගැඹුර අඩි එකසිය තිස් පහක් විතර තියෙනවා. සම්පූර්ණයෙන්ම වතුර ඉවර වෙනකල් ගැහුවම ආයෙ විනාඩි විස්සෙන් ළඳේ වතුර පිරෙනවා. මුලින්ම ළිඳ කපලා චෙක් කරද්දි පී. එච්. අගය මුලින්ම විසි ගාණක් තිබුණේ. ඒ වතුර බොන්නත් හොඳ තත්ත්වයේ තිබ්බා. ඊට පස්සෙ පෙරේදා තමයි මම වැඩ ඇරිල නාද්දී සබන් ගෑවෙන්නෙ නෑ. ඇඟේ තෙල් වගේ බෙඳෙනවා. ඊට පස්සෙ මම ළිඳ ළඟට ගිහින් බැලුවා කවුරුත් මුකුත් දාලාවක්ද කියලා. පස්සෙ ළිදෙන් වතුර එකක් අරන් බලද්දි උඩ තෙල් වගේ පාවෙනවා. ඊට පස්සෙ මන් ළිඳ වටේට හොඳට සෝදිසි කරලා බැලුවා.

කවුරුත් මුකුත් දාපු ගතියක් පේන්න තිබුණෙත් නෑ. පස්සෙ මුළු ළිදේ වතුර ගහලා දෙපාරක්ම ඉවත් කළා. අල්ලපු ගෙදර මල්ලිත් එකතු කරගෙන ළිඳ සුද්ද කළා ඒත් මේ තෙල් මතුවන එක අඩුවක් වුණේ නෑ. මේ වතුරෙ භූමිතෙල් ගඳ වගේ ආපු නිසා  රෙදි කෑල්ලක් අරගෙන වතුරේ පොඟවලා ගින්දර තියලා බලද්දී පොල්තෙල් පහන් පත්තු කර පහන් තිරයක් ඇවිළෙනවා වගේ ඇවිළෙන්න ගත්තා. අපිට නම් තාම හිතාගන්න බෑ මොකක්ද මේ කියලා.