අට වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය අද (03) පෙරවරු 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
 එහිදී ප‍්‍රථමයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන අතර අනතුරුව කථානායක කරු ජයසූරිය මහතා පැමිණීමට නියමිතය.

 ඉන් අනතුරුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණෙන අතර ජනාධිපතිවරයා පැමිණෙනුයේ ඉන් පසුවය.

 එහිදී ප‍්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවන අතර ජනාධිපති ධජය එසවීම ඒ සමගම සිදුවේ.

පසුව කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කිරීම සිදු කෙරේ.

 අනතුරුව පෙරවරු 10.00 ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවට කැඳවාගෙන යන අතර ඉදිරියෙන්ම නියෝජ්‍ය වේත‍්‍රධාරි ගමන් කරයි. ඊට පසුපසින් වේත‍්‍රධාරී ද ඉන් පසුව ජනාධිපතිවරයා ද ඊට පසුපසින් කථානායකවරයා පාර්ලිමේන්තු ලේකම්වරයා ද ගමන් කරති.

 ඉන් පසුව ජනාධිපතිවරයා කථානායක පුටුවේ හිඳ ගනිමින් නව සභා වාරය ආරම්භ කරමින් නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය (රාජාසන කතාව) ඉදිරිපත් කරයි.

 ජනාධිපතිවරයා සභාව ඇමතීමෙන් පසුව පාර්ලිමේන්තුව නැවත සවස එක දක්වා තාවකාලිකව කල් තබනු ලැබේ.

 පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීම දැකබලා ගැනීමට හයසියයකට අධික පිරිසක් ද සහභාගි වීමට නියමිතය.

 පස්වරු එකට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක, සභා නායක, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක යන ප‍්‍රධාන තනතුරු තෝරා පත්කර ගනිමින් ඉදිරි කටයුතු කරගෙන යනු ලැබේ.