තමන් සේවය කරන ස්ථානයේ යහපත් වැඩ පරිසරයක් පවත්වාගෙන යාමටත්, තමන්ගේ ඉදිරියට පැමිණෙන ප්‍රශ්න දෙස සංවේදීව බලා ඒවා විසඳීමටත් රාජ්‍ය සේවකයන්
වන අප පුරුදු විය යුතු යැයි නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්. සරත් අභය ගුණවර්ධන මහතා පැවසීය. ලේකම්වරයා මේ බව පැවසුවේ 2020 වර්ෂය සඳහා නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ (01දා) පෙරවරුවේ නාරාහේන්පිට "මෙහෙවර පියස” ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැති උත්සවය අමතමිනි.නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,


"ලංකාවාසී ජනතාවගේ දහසකුත් අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරනු ලබන නව වසරක ආරම්භය තමයි අද. එහිදී අපේ අමාත්‍යාංශයේ සියලූ දෙනා අපට පැවරි ඇති රාජකාරි නිසි අයුරින් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා.  යහපත් වැඩ පරිසරයක් රට තුළ ස්ථාපිත කිරීමේ කටයුත්ත පැවරී
තිබෙන්නේ අපේ අමත්‍යාංශයටයි. රට තුළ යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක සුනිසි මෙහෙවර ප්‍රතිපත්තිය (Decent Work Policy) රට තුළ ක්‍රියාත්මක කිරීමට පෙර අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන තුළ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීය යුතු වෙනවා.

අපි වැඩ කරන පරිසරය අපට අප්‍රසන්න නම් අපට හිතකර නැත්නම් අපේ ළගට සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මහජන මිත්‍රශීලී මෙන්ම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක සේවයක් ලබාදීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම මහජන මිත්‍රශීලී මෙන්ම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක සේවයක් මහජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය පරිසරය අපි වැඩකරන කාර්යාලය තුළ ඇති කර ගත යුතුයි. ඒ සදහා අප මුහුණදී තිබෙන යම් යම් බාධක තියනවා නම්, ඒවා ඉවත් කරගෙන මේ උදාවූ නව වර්ෂය වඩාත් සුබදායි වර්ෂයක් කරගැනීමට අධිෂ්ඨාන කරගනිමු.

අද රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාව තුළ එතරම් හොඳ ආකල්පයක් නොවෙයි තිබෙන්නේ. අද රාජ්‍ය ආයතනයකින් වැඩක් කර ගැනීමට මිනිහෙක් ගෙදරින් පිටත් වෙන්නේ මුහුදු යනවා වගේ හැඟීමකින්. මොකද, මුහුදු යන මිනිහා මුහුදු යන්නේ මොනව වෙයිද කියො විශ්වාසයක් නැතුවයි. ඒ නිසා අපි වෙනස් කළ යුතුව ඇත්තේ ජනතාව තුළ මුල් බැසගෙන ඇති එම ආකල්පයයි. ජනාධිපතිතුමා ලොකු වෙහෙසක් දරනවා රාජ්‍ය සේවයේ සුබදායි වෙනසක් ඇති කරන්න. ඒ සදහා එතුමා වැඩ කරන ජනතාවගේ වගකීම පැවරී ඇති මේ අමාත්‍යාංශය මෙහෙයවීමේ භාර දූර කටයුත්ත ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට භාර දීල තිබෙනවා. දැන් තියන අපි සියලු දෙනා එක්ව අපට පවරා තිබෙන රාජකාරි ඉටුකිරීමේ වාරයයි. ඒ වෙනුවන් සියලු දෙනාට ඒ සදහා ශක්තිය ධෛර්ය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා" යනුවෙන් පැවසීය.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පැවැති මෙම උත්සවයේදී සියලු සේවකයන් විසින් නව වසරේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවනු ලැබීය. මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතන නියෝජනය කරමින් විශාල සේවක පිරිසක් එක්ව සිටියහ.


-සාකල්‍ය සඳමාලී-