වසර හතරකට ආසන්න කාලයක් රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද (31දා) සිට බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයේ සිට ක්‍රියාත්මක වේ.



රුපියල් දෙකෝටි පන්ලක්‍ෂයකට ආසන්න මුදලක් මාසික කුලිය ලෙස ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.

එයට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ විරෝධතා එල්ල වූ අතර, මේ පිළිබඳ සලකා බැලීමෙන් පසු මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරයට රැගෙන යාමට ආණ්ඩුව තීරණය කර ඇත.

මෙම තීරණයට අනුව අද (31දා උදෑසන 8.30ට යෙදෙන සුබ මොහොතින් ගොවිජන මන්දිරයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට විෂයභාර අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහභාගි වේ.

රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය රජයට අයත් ගොවිජන මන්දිරයට රැගෙන යාම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

එච්.අයි. තුෂාර