කුලතුංගයි
ඔහුගේ වැඩිමහල් සොයුරු බණ්ඩාර කුලතුංග මෙසේ පැවසීය.
'මගේ එකම මල්ලි අද උදේ අපේ මහ ගෙදරටයි එයා බඳින්න ඉන්න නංගිටයි කතා කරලා කියලා තියෙනවා. "දැන් අපි ගුවනට යන්න ලෑස්තියි. මේ ගමන ගිහින් ඇවිත් හවස ගෙදර එනවා. රැට කන්න රසට මොනවා හරි හදලා තියන්න. මම ඉක්මනට එනවා" කියලා. ඒත් එයා අද රෑ එන්නේ පෙට්ටියකින් බව අපි කවුරුවත් හිතුවේ නෑ.
'අපේ ගෙදර අම්මයි අප්පච්චියි මල්ලියි මායි විතරයි ඉන්නේ. එයා පොඩි කාලේම ගුවන් නියමුවකු වන ආසාවෙන් හිටියේ. ඒ ආශාව නිසාම මල්ලි කොතලාවල විද්‍යා පීඨයට බැදුණා. මල්ලිට දැන් වයස අවුරුදු 26 යි. එයා විවාහ වෙන්නයි හිටියේ. ඒ නංගි අපේ ගමේම රාජ්‍ය බැංකුවක රැකියාව කරනවා.
එයාගේ විවාහය මාර්තු 3 වැනි දින කරන්නයි සැලසුම් කරලා තිබේ. අම්මයි අප්පච්චියි විශ්‍රාමික ගුරුවරු. ඒ දෙන්නාම මල්ලි ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මේ අනතුර කොහොම වුණාද කියලා අපි තාම හරියට දන්නෑ. අපට දවල් තමයි පණිවිඩය ලැබුණේ. මට මල්ලි ගෙදර එනවා කියලා දුරකතන ඇමැතුමක් ආවාම අම්මා හරියට සතුටු වෙනවා. එයා අලුත් අවුරුද්ද ලබන්න පෙරත් ගෙදර ඇවිත් අපි බලලා ගියා.'
අනතුරින් මියගිය විරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නුවන් ළහිරු දර්ශන හෙට්ටිආරච්චි (31) මහතාගේ බිරිය වන ඩයනි චතුරිකා (28) මහත්මිය මෙසේ පැවසුටාය.
"උදැසන 8.30ට පමණ මම වැඩට යන්න ලෑස්තිවෙලා ඉද්දී මහත්තයාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ලබන 15 වැනිදා නිවාඩු දමා එන බවත් වැඩට යන්න සුදානම් වන නිසා දවල් 12න් පස්සේ කෝල් එකක් ගන්නම් කීවා. මම බස් එකෙන් මාතර වැඩට එද්දී ෆේස්බුක් එකෙන් හපුතලේ ගුවන් යානා අනතුරක් සිදු වි ඇති බව දැන ගත්තා. ඒ සමඟම මහත්තයාගේගේ මිතුරකු කතා කර කරා මම ඉන්න තැන අසා ආපසු හැරි ගෙදරට යන්න කීවා. ඒ වේලාවේ මහත්තයගේ දුරකතනයට ඇමතුමක් ගත්තත් එය වැඩ කළේ නැහැ."
සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ නුවන් දම්පැල්ල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා වන එච්.ඒ. ප්‍රේමදාස (61) මහතා හා මව වන පුෂ්පා අයිරංගනි (58) මහත්මිය කුලි වැඩකොට බොහෝ දුක් මහන්සි වී නුවන් ඇතුළු එම දරුවන් සිවිදෙනා හදා වඩාගෙන තිබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන චම්පික දර්ශන (38) බස් රථ රියැදුරෙකි. වැඩිමහල් සහෝදරිය අචලා හෙට්ටිආරච්චි (36) විවාහ වී වෙනම පදිංචි වී සිටී. අනෙක් සහෝදරිය ගීතා ශානිකා (34) රැකියාවක් නොකරයි. එම පවුලේ රජයේ රැකියාවක් කළේ නුවන් පමණි. ඔහුගේ බිරිඳ මතර නගරයේ පෞද්ගලික රෝහලක හෙදියකි. ඇය සමඟ නුවන් යෝජිත විවාහයක් අනුව යුග දිවියට එක්ව තිබුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනිදාය. ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ලට අවුරුද්දයි මාස තුනක් ගත එන්නටත් පෙර කණකොකා හඩක්නට විය. තම පුතුගේ මතකය පිළිබඳව අවදි කළ නුවගේ මව වන පුෂ්පා අයිරාංගනී මහත්මිය මෙසේ කීවාය.
"පාසල් අධ්‍යාපනයෙන් පසු පුතා අකුරැස්ස යොවුන් සේනාංකයට ඇතුළත් වී පුහුණුව ලැබුවා. පසුව ඔහු වායු සමීකරණ අලුත්වැඩියා පාඨමාලාවක් ද හැදෑරුවා. 2009 වසරේ දී පුතාගේ වුවමනාවටම තමයි ඔහු ගුවන් හමුදාවට බැඳුණේ. කොග්ගල හා එකල කඳවුරුවල පුහුණුව ලැබු පුතාගේ විසිරයාමේ උත්සවය තිබුණේ දියතලාව ගුවන් හමුදා කඳවුරෙයි. පසුව ඔහු පිදුරුතලාගල, නුවරඑළිය, මඩකළපුව ආදී ප්‍රදේශ රැසක රංජකාරි කළා. මීට මාස හයකට විතර කලින් තමයි පුතා විරවිල කඳවුරට ආවේ.
ඉඩ ලද හැමවිටම ඔහු නිවඩු ලබා ගෙදර එනවා. බිරිය සමඟ හොඳ පවුල් ජීවිතයක් ගත කළා. පළමුවැනිදා රෑ ගෙදර ආපු පුතා 02 වැනිදා උදේ 5.00ට පමණ රැකියාවට යාමට සුදානම් වුණා. මම කිරි තේ කොප්පය හදා ගෙනැවිත් දුන්නම පුතා උගුරු දෙකක් බීලා ඉතිරි ටික මට බොන්න කීවා. පරක්කු වෙන නිසා මට වැඳ ඉක්මණින් ඔහු පිටත්ව ගියා. පසුව තමයි දැනගත්තේ මගේ රත්තරං පුතා ගුවන් යානා අනතුරකට ලක්වෙලා කියලා. අපි බොහොම දුක් මහන්සිවෙලයි ඔහු හදාගත්තේ. අන්තිමට මට මගේ දරුවාගේ මුහුණවත් බලාගන්න බැරිවෙලා.”
ගුවන් අනතුරින් මියගිය තිස්සමහරාම සේනපුර අංක 681, ලිපිනයේ පදිංචිව සිටි දික්වැල්ල විදානගේ චමින්ද කුමාර නමැති 38 හැවිරිදි ගුවන් හමුදා සැරයන්වරයාගේ දේහය සිය නිවස වෙත රැගෙන ආ අවස්ථාවේ ඔහුගේ බිරිඳ වූ කලවාන කොස්වත්තගේ ඉරේෂා මධුවන්ති 36 හැවිරිදි දෙදරු මව මෙසේ පැවසුවාය.
'මගේ මහත්තයගෙ ජීවිතය දරු දෙන්නයි මමයි. අපේ අනාගතය ගැන මහත්තයට අහස උසට බලාපොරොත්තු තිබුණා. මේ දෙවැනිදා උදේ ඔහු විරවිල ගුවන් තොටුපළේ සේවයට වාර්තා කරන්න යන්න පිටත් වෙන්න ඉස්සර දරු දෙන්නම වඩාගෙන ඉඳලයි ගියේ. මහත්තයගෙ වියොවෙන් අපේ සියලු බලාපොරොත්තු සිහින බවට පත් වුණා.
ගුවන් හමුදා සැරයන් චමින්ද කුමාර මහතාගේ දේහය ඔහුගේ නිවසට ගෙන එන අවස්ථාවේ නිවසේ හා ඒ අවට ප්‍රදේශයේ දේහය දැකබලා අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාව ඒකරාශී වී සිටියහ. එම මාර්ගයේ දෙපස සුදු පැහැති ධජ හා ශෝක පුවරුද ප්‍රදර්ශනය කර තිබිණි. දේහය නිවස තුළ තැන්පත් කළ අවස්ථාවේ ඔහුගේ දරු දෙදෙනා වූ පස් හැවිරිදි නෙතුක දම්සිහ හා සිව් හැවිරිදි උදුලා තිහාරි දෙදෙනා නැඟු විලාප හඬ අවට රැස්ව සිටි අයගේ නෙත් කඳුළින් පුරවාලීමට සමත් විය.
ජිවිතය පිළිබඳ දහසක් සිතුම් පැතුම් පොදි තිබුණා. බැඳගෙන සසර ගමනේ දිගු ගමනක් යෑමට සිටි චමින්ද කුමරගේ බිරිඳ වූ මධුවන්ති යුද සමය මෙසේ කියමින් හඬා වැටුණාය. වසර කිහිපයක් ආදරය කරල තමයි අපි විවාහ වුණේ. අපේ එක්වීම සංසාරගත බැඳීමක් ලෙසටයි මට හිතෙන්නේ. ඔහු මට ඒ තරමට ආදරය, දයාව, කරුණාව දැක්වුවා. වැඩිමහල් පුතා මේ වසරේ පාසලට පළමු වසර ඇතුළත් කිරීමටයි සුදානමින් සිටියි. ඒ පිළිබඳ මගේ මහත්තයා නිතර නිතරම කතා කළා. පුතාගේ පාසල් ගමන ගැන ඔහුට තිබුණේ ලොකු බලාපොරොත්තුවක් ආසාවක්.
දෙවැනිදා උදේ වීරවිල ගුවන් හමුදා කඳවුරට රාජකාරි චාරිකාව කරන්න තිබුණා. එදා උදේ ගෙදරින් පිටවීමට ඉස්සර දරු දෙන්නා ළගට අරගෙන දුව වඩාගෙන පුතාට කිව්වා පුතේ පාසලට යන්න ඕන කරන හැම දෙයක්ම මම අරගෙන එන්නම් කියලයි ගෙදරින් පිට වුණේ. මහ්තතයට හත්වැනිදා ඉදල කොළඹට මාරුවක් ඇවිත් තිබුණා. ලංකාවෙ ඕනෑම ප්‍රදේශයක තම රාජකාරිය ඉටු කරන්න යන්න ඔහු මැලි වුණේ නැහැ. මට යුද සමයේත් මත්තයා උතුරෙත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදිල හිටියා. ඔහුට රට පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඔහු නිතරම කිව්වේ අපේ අනාගත දරු පරපුරට නිදහස් රටක් තිබිය යුතු බවයි.
දෙවැනිදා උදේ ගෙදරින් පිටවන විට මම හිතුවෙ නැහැ මේ වගේ හමුදා ආචාර මධ්‍යයේ ඔහුට අවසන් ගමන් යන්න වෙයි කියලා. නමූත් අපි කවුරුවත් නොහිතපු අවාසනාවත්ත ඛේදවාචකයක් අපට සිදු වුණා යැයි ඇය පැවසීය. වසර 16ක පමණ කාලයක් ගුවන් හමුදාවේ රාජකාරිවල නිරතව සිටි සැරයන් චමින්ද කුමාර මහතා තම සහෝදර කාර්යය මණ්ඩලය ඇතුළු දයාබර බිරිඳ සහ දරු දෙදෙනාත්, මව්පියන්, ඥාති හිතවතුන් සදහටම හැරදමා තිස්සමහාරාම සේනපුර ග්‍රාමයේදී සමුගැනීමට නියමිතය.
තොරතුරු- සුරංග රාජනායක, ක්‍රිෂාන් ජීවක ජයරුක් , රංජිත්.එස්.ඩයමන්