කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකොට ඊයේ (30දා) දිනය වනවිට ජාතික උණ රෝහලට පුද්ගලයන් තිස් එක් දෙනෙකු ඇතුළත් වූ බවත්, ඉන් විසිතුන් දෙනෙකු මේ වනවිට නිවෙස් වෙත ගොස් තිබෙන බවත්
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

රෝහලේ සිටින අට දෙනාගෙන් චීන කාන්තාවකට වෛරසය ශරීරගත වී තිබෙන බවත්, එම කාන්තාවගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් ඔහු පවසා සිටියේය.

ඉතිරි හයදෙනාගෙන් හතරදෙනෙකු වෙනත් රෝග තත්වයන්වලට ප්‍රතිකාර ලබන බවත්, තිස්දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන නිසා රෝහල තුළ රඳවාගෙන සිටින බවත් එහෙත් චීන කාන්තාවට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට වෛරසය ශරීරගත වූ බවට සොයාගෙන නොමැති බවත් කියා සිටියේය.

චීන කාන්තාව රැදී සිටි හෝලයේ සේවිකාවක් රෝහල්ගත වූ බවත්, එහෙත් එම කාන්තාවට වෛරසය ශරීරගත වීම නොමැති බවට තහවුරු වීම නිසා එම තැනැත්තිය රෝහලින් නික්ම ගොස් තිබෙන බවත් සදහන් කළේය.

කොරෝනා වෙරසයට බිය වී කිසිදු නිරෝගී පුද්ගලයෙකු මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාවක් නැතැයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහෙත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇතුළු රෝග තත්වයන් තිබෙනවා නම් එම රෝග වෙනත් පුද්ගලයන්ට බෝවීම වළක්වා ගැනීමට මුඛ ආවරණ භාවිත කරන ලෙසත් ඔහු පවසා සිටියේය.

කොරෝනා රෝගය ශ්වසන පද්ධතියට වැලදෙන රෝගයක් බවත්, මේ නිසා රෝගීන් මහමග ඇදවැටීම සිදු නොවන බවත්, වැරදි ප්‍රචාරයක් දියත් වීම නිසා වෙනත් හේතුවක් නිසා යම් පුද්ගලයෙකු ඇදවැටුණහොත් එම පුද්ගලයා දෙස වැරදි ආකල්පයකින් බලන තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

රෝහල් සේවකයන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ අවශ්‍ය තරම් ලබා දී තිබෙන බවත්, මේ නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ගැටලුවක් ඇති කරගත යුතු නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ