පසුගියදා අත්අඩංගුවට ගත්තේ සිල්ලර කාසි දෙකක් පමණක් බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී අමාත්‍යවරයා කියා සිටියේ.

“ඒ අයගේ සහ තවත් අයගේ මහා පරිමාණ සිදුවීම් තවම එළියට ආවේ නැහැ. ඒවා පෙළට තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා ගැන ටොප් 10 කියා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. ඒවාට තාමත් අත තබා නැහැ. ඒ කටයුතු තවමත් සිදු වනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“මේ ආණ්ඩුව වැරැදි කරන අයට නිසි දඩුවම් දෙන්නේ නැතිව කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් සිදුකරනවා කියා යම් අයෙකුට සිතෙන්නට පුළුවන්. අපටත් දැනෙනවා විශාල වැරදි කරපු අය දවසින් දෙකින් ඇප අරන් යන බව. අධිකරණයේ ස්වාධීනත්වය අප එදත් විශ්වාස කළා. අදත් විශ්වාස කරනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කරන පොලිස් දෙපාර්තුමේන්තුව, සී.අයි.ඩී. වැනි ආයතන වල නිලධාරින්ට අප කිසිවිටක බලපෑම් කර නැහැ. ස්වාධීනව එම කටයුතු සිදුකළා. නමුත් පසුගිය කාලයේ කිසිදු වරදක් නොකළ අය පවා මෙම නිලධාරින් කුදලගෙන ගොස් බන්ධනාගාරගත කළා.

නමුත් ඊයේ පෙරේදා එළියට ආවේ පොඩි පොඩි සිද්ධි පමණයි. පාඨලී චම්පික, රාජිත සේනාරත්නසහ තවත් හිටපු ඇමැතිවරුන්ට චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ ගැනත් සොයා බලනවා. ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය මේ අය සමඟ ඔට්ටුවන එක නෙමෙයි. පළිගැනීමේ චේතනාව තිබ්බේපසුගිය ආණ්ඩුවටයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළිගැනීමේ චේතනාවෙන් කිසිදු වචනයක් වේදිකාවේ ප්‍රකාශ කළේ නැහැ. මඩ ප්‍රචාර කළේ නැහැ. එතුමා බලාපොරොත්තු වූ රට අද නිර්මාණය වී තිබෙනවා. පළිගැනීම් කරන්න කාලය වැය කරනවාට වඩා අපගේ වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම සහ ජනතාව අපේක්ෂා කළ රාජ්‍ය පාලනය ලබා දීමයි. මේ ආණ්ඩුව ඉඹේ පහළ වූ ආණ්ඩුවක් නොවෙයි. විද්වතුන් සියලු දෙනා එකතු කර ගනිමින් සැළසුම් සකස් කර වත්මන්ආණ්ඩුව ලබා ගැනීමට අප වසර හතර හමාරක් නොවිදිනා දුක් වින්දා.

ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව භාර දුන්නා කියා විපක්ෂය අද ප්‍රකාශ කරනවා. ඒ අය ආණ්ඩුව භාර දුන්නා නොවෙයි, ආණ්ඩුව භාර දීමට සිදු වුණා. නමුත් සිදු විය යුත්තේඑය නොවෙයි. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි. සුළුතරයක් සමඟ ආණ්ඩුව කරගෙන
යන්නට ඉඩදී උප්පරවැට්ටි යොදාආණ්ඩුව කඩා වට්ටන්නටමේ අය සිතාගෙන ඉන්නවා.නමුත් මේ ආණ්ඩුව කඩා වැටෙන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ලක්ෂ 69 ක් ජනතාව මේ ආණ්ඩුවට බහුතර බලය ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණාට ජනතා බහුතරය ආණ්ඩුවට තිබෙනවා.

අවුරුදු ගණනක් ජනතාවට කන්න නොදුන් ආණ්ඩුව ගැන ජනතාව තිබු පළිගැනීම වැඩි ඡන්ද ලක්ෂ 15 කින් ජනතාව පෙන්නුවා. ජනතාව අද බලන්නේ සහල් කිලෝවක, ලූණු ගෙඩියක ගාණ නොවෙයි. ජනතාවට කැමැති උචිත ආණ්ඩුවක් තිබෙනවාද කියලයි. පසුගිය ආණ්ඩුව භාර ගත්ත ගමන් හිටපු අගමැතිතුමා කිව්වේ ආණ්ඩුව කරගෙන යන්න අමාරුයි, භාණ්ඩාගාරයට අමාරුයි ඒ නිසා ජනතාව පටිතදකර ගන්න කියායි.නමුත් ඒ අය තමන්ට අධි සුඛෝපභෝගි වාහන ගෙන්නුවා. සුරසැප වින්දා. අද එහෙම තත්ත්වයක් නැහැ. ජනතාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා වරප්‍රසාද සියල්ල කැප කර තිබෙනවා. අපි ආණ්ඩුව ගත්තේ සැලසුම් සහගත වැඩ පිළිවෙලක් සමඟයි.