හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුවක් ඉදිරියට
පවත්වාගෙන යෑම වළකාලමින් 2015-2012 කාලය තුළ සිදුවී ඇතැයි කියන  දේශපාලන පලිගැනීම විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත.

දේශපාලන බලපෑම මත තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති අංක HC(TAB)/1448/2020 දරන නඩුවට අදාළ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරියට පවත්වාගෙන ගියහොත් තමන්ට ඉමහත් අගතියක් සිදුවන බවට වසන්ත  කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන් කොමිසමට ඉදිරිපත් කර ඇති පැමිණිලිවල විභාගය අවසන් කර කොමිසමේ නිර්දේශය
ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන තුරු එම නඩුව පවත්වාගන යෑමට අදාළ කිසිදු කටයුත්තක් නොකරන ලෙස කොමිසම නීතිපතිවරයාට නියම කර ඇත.

2015 ජනවාරි 08 වැනිදාත් 2012 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි  කියන දේශපාලන පලිගැනීම් පිළිබදව  පරික්ෂකොට තොරතුරු ලබාගැනීම සදහා පත්කළ මෙම ජනාධිපති පරික්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති),විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන  මහත්වරුන්ය. වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පි. දසනායක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විභාගය අත්හිටුවමින් කොමිසමෙන් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

මේ කොමිෂන් සභාව වෙත අංක 01/2020 වශයෙන් ලැබී ඇති මුල් පැමිණිල්ල ශ්‍රී ලංකා නාවුක හමුදාවේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සහ රියර් අද්මිරාල් ඩි.කේ.පී. දසනායක මහතා විසින් 2020.01.22 වන දින ඉදිරිපත් කර එම පැමිණිල්ල 2020.1.23 වන දින කොමිෂන් සභාව ඉදිරියේ විමර්ශනයට භාජනය කොට එම පැමිණිලෙන් ඉල්ලා තිබූ පරිදි එකී පැමිණිලිකරුවන්ට දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ නීති කෘතින් ආරම්භ කිරිම ක්‍රියාවලියට චුදිතයන් වී ඇති බවට කොමිෂන් සභාව දැඩි ලෙස අවධානයට ලක් කර ඇත.

ඒ අනුව 2020.1.22 වන දින අංක 2159/16 දරන අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධිත 2020.1.9 වන දින
අංක 2157/44 දරන අති  විශේෂ ගැසට් පත්‍රයේ ස්ථාපිත කරනු ලැබූ මෙම කොමිෂන් සභාවට එකී ගැසට් පත්‍රයේ (ඉ) ඡේදයේ ප්‍රකාශ කර ඇති බලතල ප්‍රකාරව නියෝගයක් වහාම නිකුත් කිරීම අවශ්‍යතාවය පැන නැගී ඇති බව ද කොමිෂන් සභාව අවධාරණය කරන ලදී. එබැවින් ස්වභාවික යුක්තියේ මූලධර්ම පදනම් කර ගනිමින් මෙම කොමිෂන් සභාවට ලැබී ඇති ඉහත පැමිණිලි දෙක පිළිබඳව විමර්ශනය කිරිමෙන් පසුව පැමිණිලිකරුවන් දේශපාලන බලපෑම් මත නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින්නේ ද යන්න පිළිබඳව විමර්ශනය කර තිරණය කරන තෙක් එකි නඩු විභාගය පවත්වාගෙන යාමට නුසුදුසු බවටත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු කටයුතු පවත්වාගෙන යාම  නීතිපති දෙපාර්තමෙන්තුව විසින් සිදු කරනු ලැබුවහොත් ඉන් පැමිණිලිකරුවන්ට ඉමහත් අගතියක් සිදුවන බව කොමිෂන් සභාව දැඩි අවධානයට ලක්කර ඇත.

ඉහත කරුණු මත පැමිණිලිකරුවන් දෙදෙනාගේ පැමිණිලිවලට අදාළ සාක්ෂි චිභාග අවසන් කර මෙම කොමිෂන් සභාව විසින් ජනාධිපතිතුමා වෙත මෙම කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත් කරන තෙක් ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වෙන අංක HC(TAB)/1448/2020 දරන නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් ඉදිරියට එකි මහාධිකරණයේ නඩු විභාග පවත්වාගෙන යාම සහ ඊට අදාළ සාක්ෂිකරුවන් ඉදිරිපත් කර ඔවුන්ගේ සාක්ෂි විභාග කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වලක්වාලමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපතිවරයා සහ/හෝ ඔහු වෙනුවෙන් බලය පවරනු ලැබූ වෙනත් කිසිදු නිලධාරියෙකු මෙම නියෝගය මගින් එලස් කිරීමක් වාරය කිරීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

ඒ අනුව නැවත කොමිෂන් සභාවේ නියෝගය හෝ නිරිදේශය ලැබෙන තෙක්  ඉහත අංක දරන නඩු මහාධිකරණයේ  පවත්වාගෙන යාම සම්බන්ධව කිසිදු කටයුත්තක් නීතිපතිවරයා හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙකු විසින් සිදු නොකළ යුතු බවට කොමිෂන් සභාව නීතිපතිවරයාට නියම කරන ලදී. මෙම  නියෝගය වහාම නීතිපතිවරයා වෙත දැනුම්දීමට ද කොමිෂන් සභාව නියෝග කළ අතර එම නියෝගය 2020.1.23 වන දිනම නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමට කොමිෂන් සභාව කටයුතු කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

-මනෝප්‍රිය ගුණසේකර