ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ එළවළු ටික හෝ හාල් මිල අඩුකර ගැනීමේ අරමුණින් නොව ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීමට බව තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (31) ප්‍රකාශ කළේය. ජනතා බලාපොරොත්තු කිසිසෙත් කඩ නොකරන බවත් බඩුමිල පවා ඉදිරියේ දී
සාමාන්‍ය තත්වයට පත්ව ජනතාවට සහන සැලසෙනු ඇති බවත් හෙතෙම සදහන් කළේය. රජය ජනතාවට දුන් බදු සහනවල ප්‍රතිලාභ සථිර වශයෙන්ම ලැබෙන්නේ අද සිට ඉදිරියට බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ඊයේ‍ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකදිය.

මේ වනවිටත් සියැට් ඇතුළු සමාගම් කිහිපයක් බදු සහන ලබාදීමට පොරොන්දුවී ඇති බවත් මිල ඒ අනුව අඩුවනු ඇති බවත් කි අබේවර්ධන මහතා වෙළදපොළීන් සියයට 65ක් පමණ පාරිභෝගිකයන් හිමි සමාගම්  පිළිබඳව නිවේදන නිකුත් කර ඇති බවත් කීය.  ත්‍රිරෝද රථ, බසරථ, ට්‍රක් රථ සදහා අමතර කොටස්වලට මෙම බදු සහනය ලැබෙනු ඇතැයි හෙතෙම කියා සිටියේය.

වාහන හිමිකරුවන්ට මෙම සහනය ලැබෙන විට එය ජනතාවට ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන බව ද ඔහු කීය.

බදු බර අඩුකරනවා කියා ආණ්ඩුව කර ඇත්තේ ගෙදරට ගෙන යන බඩු මල්ලේ බර අඩු කිරිම පමණක්ය කියා රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා කියා තිබෙන බවත් එම ප්‍රකාශය ගැන නිවැරදිතාව පළ කළ යුතු බවත් ඔහු කියා සිටියේය. මේ වසරේ මුල් භාගයේ සිට දෙසැම්බරය දක්වා තිබු වර්ෂාව ගැන බලද්දී සැප්තැම්බර් මාසයේ මිලි මීටර් 348ක වර්ෂාපතනයක් ලැබි ඇති බවත් එළවළු හිඟයට මේ තත්ත්වය බලපෑ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මෙය රජයකට පාලනය කළ නොහැකි බවත්, අප්‍රේල් මාසය එනවිට මේ තත්ත්වය වෙනස් කර යහපත් තත්ත්වයට ගන්නට කටයුතු කරන්නේ යැයි ද ඔහු කියා සිටියේය. රුපියල් 3500ක් වටිනා බඩුල්ලක් හාල් පිටි, සීනි, පරිප්පු, කරවල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ වර්ග දහයක් සහිතව සමෘද්ධි ලැබෙන පවුල් සහ අඩු ආදායිම්ලාභී පවුල්වලට සහන පැකේජයක් ලෙස ලබාදීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු ද ක්‍රියාත්මක කිරිමට රජය සුදානමින් සිටින බව ද හෙතෙම සදහන් කළේය. ආර්ථික මධ්‍යස්ථානයට ගිය එජාප මන්ත්‍රීවරුන් රුපියල් 98 මිලැති හාල් පෙන්වා එම සහල් කන්නට හැකිදැයි විමසා ඇති බවත් මේවා හොඳ සහල් බව පෙනෙන්නේ නැද්දැයි වෙළෙදුන් විමසා සිටි බවත් කී අබේවර්ධන මහතා ඔවුන් එහි ගොස් වෙළදාමට කර ඇති බවද පැවසිය.

2017 ගෙන ආ සහල් වෙළඳපොළට නිකුත් නොකළේ ඇයි දැයි පරික්ෂණයක් කරන්නට අවශ්‍ය යැයි ද ඔහු කීය. කිලෝ ලක්ෂ තුනහමාරක්වු එම සහල් තොගය වත්මන් රජයට වෙළඳපොළට නිකුත් කළ නොහැකිවී ඇත්තේ එය පෙබරවාරි 20 වනවිට සම්පූර්ණයෙන්ම කල් ඉකුත් වන නිසා බව ද පරිභෝජෛනයට නුසුදුසු තත්ත්වයට පත්වන නිසා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රටේ සහල් තියෙද්දීත් පිටරටින් සහල් ගෙන්වා, වෙළදපොළට නිකුත් කළ පසුගිය ආණ්ඩුවේ බලධාරින් දැන් වෙළඳපොළ පුරා ඇවිදිමින් සහල් ගැන ප්‍රකාශ කරන බව කී අමාත්‍යවරයා වත්මන් රජය බලයට පැමිණි වහාම මෙරට නිපදවන අපනයන බෝග පිටරටින් ගෙන්වීම නවතාලු බවත් ඒ හේතුවෙන් බොහෝ අපනයන බෝගවල මිල මේ වනවිට වැඩිවි ඇති බවත් පෙන්වා දුන්නේය.


කසළ තේ ගෙන්වීම් නවත්වා ඇතැයි ද ඒය ගත් ප්‍රතිපත්තිමය තීන්දු අනුව ජනතාවට විශාල සහන ලැබි ඇතැයිද හෙතෙම කියා සිටියේය. අරලිය ගහ මන්දිරයට රුපියල් ලක්ෂ 3000ක ලීබඩු ගත් බවට විපක්ෂය චෝදනා කරන බව පැවසු අබේවර්ධන මහතා මහින්ද රජපක්ෂ මහතා අගමැතිවු පසු එකම එක රුපියලක  ලීබඩුවක් නොගත් බව වගකීමෙන් කියන බව ද ප්‍රකාශ කළේය. ලක්ෂ 3000ක ලි බඩුවල රිසිට් මාධ්‍යයට පැමිණ පෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

හෙලිකොප්ටස් හතරකින් හම්බන්තොට ගිය බවට කරන චෝදනාව ගැන අදහස් දක්වමින් අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයා හෙලිකොප්ටර් දෙකකින් එහි ගොස් ඇති බවට සැබෑ නමුත් අගමැතිවරයා එහි ගොස් ඇත්තේ වාහනයකින් බවය.ජ නාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියට හෙලිකොප්ටර් හතකින් ගොස් ඇතැයි කරන චෝදනාවට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ඒ සඳහා ද හෙළිකොප්ටර් දෙකක් ගිය බවය. මාධ්‍ය හමුව ඇමතු ජාතන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ජයත්ත මහතා කියා සිටියේ ජීනීවාහි මානව හිමකම් සැසි වාරයේ දී ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ගය සහ එහි ගිවිසුම් පිළිබද මතුවන ප්‍රශ්න ක්‍රමෝපායන් හා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය ගැන අධිකරණ ක්‍රියාමාර්ග හා වෛද්‍ය පරික්ෂණ අධිකරණයට ඉදිරිපත් කර ඇයට දැඩි කොන්දෙසි මත ඇප නියම කර ඇති බවටත්, රජයක් ලෙස අයුතු අයුරින් මෙවැනි පරික්ෂණවලට මැදිහත් නොවන බවත් හෙතෙම කියා සිටියේය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේ දී තවත් දෙදෙනකු සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ප්‍රකාශයක් ගැන හා ඒ වෙනුවෙන් මුදල් දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව පරික්ෂණ පැවැත්වෙන බවත් අධිකරණ ස්වාධිනව කටයුතු කරමින් රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රජයක් ලෙස අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කරන අතර ඊට කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන බවත් ප්‍රේමජයන්ත මහතා කීය.  රාජ්‍ය ආරක්ෂාවට මෙන්ම පුද්ගල සංරක්ෂාවටත් වැදගත් වන කරුණක් සේ එකම දත්ත ගබඩාවකට පුද්ගල දත්ත ලබා ගැනීම  සුදුසු බව තීරණය කර ඇති බවත්, ඒ ගැන මූලික සාකච්ඡාව
පමණක් දැනට සිදුවන අතර දියුණු රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවත් ද හෙතෙම කියා සිටියේය.

-විනීතා එම් ගමගේ-