https://www.gossiplankanews.com/2020/01/navinna-murder.html
මහරගම නාවින්න දේවානන්ද පාර දෙමහල් ගොඩනැගිල්ලක අභිරහස් ලෙස මිය ගොස් සිටි අඹු - සැමි යුවළකගේ මළසිරුරු (30) සවස සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මහරගම නාවින්න දේවානන්ද පාරේ
අංක 5/1/හි පදිංචි වාද්දුවගේ දොන් මංජුල (40) සහ ජයසිංහ ආරච්චිගේ සංජීවනි  ප්‍රදීපිකා (39) නමැති අඹු සැමි යුවළක  බව පොලිසිය කියයි.

මළසිරුරු දෙක තිබී හමුවූ ගොඩනැගිල්ල දෙසින් දුගඳක් හමනා බව 119 හදිසි ඇමතුම් අංකයට ලද  තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට

ගොස් පරික්ෂා කිරීමේදී දින 4 පමණ පෙර මියගිය බවට සැක කෙරෙන මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. දෙවැනි මහලේ පඩිපෙළ මත තබා  තිබූ පුටුවක් මත කාන්තා මළසිරුරත්  ඉදිකරමින් පවතින තෙවැනි මහලේ වාහන අමතර කොටස් ගබඩා කර තිබූ ස්ථානයේ වැටී තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

හඳුනා ගැනීමට නොහැකි තරමටම මළසිරුරු දෙක නරක් වී අධික දුඟද හමමින් තිබූ බවද පැවසේ. එම ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරික්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පැමිණ ස්ථානය පරික්ෂණයක්
සිදුකොට දේහයන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කොට අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කළේය.

මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සිය දිවි හානිකර ගැනීමක්ද යන්න අංග කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇත. මියගිය පුද්ගලයා වාහන අමතර කොටස් ව්‍යාපාරිකයකු වන අතර ඔහු විශාල වශයෙන් ණයතුරුස් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

-ශාන්ත ප්‍රදීප් කුමාර-