ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීව විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත්ව එම අංශයෙන්ම අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි ශිෂ්‍යාවක සමග මිත්‍රවී ඇය දූෂණය කොට එම අවස්ථාවන් රූපගත කරමින් අන්තර් ජාලයට මුදාහල බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. නිට්ටඹුවට නුදුරු
ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකු වන  සැකකරු අ.පො.ස. (සාමාන්‍ය පෙල) පවා සමත් නොවූ අයෙකු  වන බවත් මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිණිස උපකාරක පන්තිවල ශිෂ්‍යභාවය ලබාගෙන ඇති බවත් අනාවරණය වි ඇති බව පොලීසිය පවසයි.
මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමග මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණමයන් අත්හිටවූ සිර දඩුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණයකට ඇති බවද පොලිසිය කියයි.

මිට කෙටි කලකට පෙර ගම්පහ උපකාරක පන්තියකට සහභාගිවී ඇති ගම්පහට නුදුරු ප්‍රදේශයක පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති මෙම සිසුවිය පවුලේ එකම දරුවා වන අතර සැකකරු ජීව විද්‍යා අංශයේ සිසුවෙකු ලෙසින් එම උපකාරක පන්තියෙහි සිටියදී මෙම තරුණිය සමග පෙම් සබඳතාවක් ඇති කරගෙන පසුව ගම්පහ ලැගුම්හලකට රැගෙන ගොස් දුෂණයකොට විවිධ ලිංගික වධ හිංසනයන්ට ලක් කිරිම මත සිසුවිය මොහුගෙන් ඈත්විමට තැත්කොට ඇත.

සිසුවිය සමහ මෝහු ලිංගිකව එක්වීමේ අවස්ථාවන් රූපගතකොට ඇති අතර තරුණියට අවස්ථා කිහිපයකදීම යළි පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඇය නොපැමිණීම මත රූපගත කළ සියල්ල අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කළ ද නොපැමිණීම හේතූවෙන් රූපගත කිරිම් සැකකරු විසින් අන්තර්ජාලයට යොමු කල බව පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත. සැකකරු විසින් මෙම රූපරාමු අන්තර්ජාලයට මුදා හැරිම සිදු කිරිමෙන් පසුව පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරික්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විවිධ හෝඩුවාවන් ඔස්සේ පරික්ෂණය  සිදු කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තාද කැඳවා ඇත.

මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතාකොට සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කොට ඇති බවද පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මෙසේ පරික්ෂණ සිදු කරමින්  සිටියදී පෙරේදා තරුණිය
ලවා සැකකරුට ඇමතුමක්  ලබාදුන් අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් කැලණිය පංසල අසලට එන ලෙසත් තමාට විරුද්ධව පොලිසියට කර ඇති පැමිණිලි ඉල්ලා අස්කර ගන්නා ලෙසටත් සැකකරු තර්ජනය කොට ඇති අතර මේ අනුව පොලිස් පරික්ෂක අසංක රංගන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වෙස්වලා ගනිමින් කැලණි විහාරය අසල පැය හතක පමණ කාලයක් සිටියදී සැකකරු විසින් තරුණියට ඇමතුමක් ලබා
දෙමින් නිට්ටඹුව නගරයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

මේ අනුව ඔහු දැනුම් දුන් ස්ථානයට තරුණිය ගොස් කතා කරමින් සිටි අවස්ථාවේදී සැකකරු පොලිස් බාරයට ගත් බව ආංශාධිපතිවරයා කීය. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය සමග සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරිම සිදු කළ පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක්ද සොයා ගැනීමට හැකිව ඇත.

-තිලකරත්න දිසානායක-