වැරදි ආහාර ප්‍රතිපත්තිය නිසා ළමා රෝහල තුළද දියවැඩියා රෝග සායන පැවැත්වීමට සිදුව ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.මේ නිසා කඩිනමින් ජනතාව පාරම්පරික ආහාර
රටාවට හුරු වියයුතු බවත්, වැරදි ආහාර ප්‍රතිපත්තිය නිසා ජනතාවගේ නිරෝගීකම ක්‍රම ක්‍රමයෙන් ඇත්වෙමින් තිබෙන බවත් ඔහු පවසා සිටියේය. ජනතාවගේ සෞඛ්‍යය රැකගැනීම සඳහා වසවිසෙන් තොර ආහාර සහතික කරන වැඩපිළිවෙළක් මේ වසර තුළ ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතු බවත්, මීට අමතරව සියලුම පාසල් හා සියලුම ආයතන ඉදිරිපිට තැඹිලි අලෙවි කරන වෙළදසලක් හෝ ආරම්භ කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

ලංකාව තුළ මියයන ප්‍රමාණයෙන් 70%ක් මියයන්නේ දියවැඩියාව, හෘදරෝග පිළිකා වැනි බෝ නොවන රෝගවලින් බවත්,

මීට දශක හතරකට පෙර වියපත් පිරිස්වලට වැලඳුණු මෙම රෝග තත්ත්වයන් දැන් මැදි වයසේ පිරිස්වලට සේම දරුවන්ටද වැලදෙන බවද ඔහු කියා සිටීය.  වයස අවුරුදු 12ට අඩු දරුවන්ට දියවැඩියාව වැළඳී තිබෙන බවත්, මේ නිසා ළමා රෝහල තුළ දියවැඩියා සායන පැවැත්වීමට හා වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වල ස්ථාපිත කරන ආකාරයට දියවැඩියාවට අදාළ ඖෂධාගාරයක් ස්ථාපිත කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

වසරක් පාසා මෙම තත්ත්වය ඉහළ යමින් තිබෙන බවත්, මේ නිසා අසුබ ආහාර සංස්කෘතියෙන් ඉවත් වී පාරම්පරීක ආහාර රටාවකට ජනතාව හුරුවිය යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.  පවතින තත්ත්වය නිසා දෙමාපියන්ට කලින් දරුවන් මියයන තත්ත්වයක් උදාවෙමින් තිබෙන බවත්, වසවිසෙන් තොර ආහාරපාන ලබාගැනීමට කටයුතු කළහොත් 2021 වසර සුබම සුබ වසරක් කරගත හැකි බවත්, ගෙවීගිය කාලයේ සෑම වසරකම සුබ නව වසරක් බව කියමින් සුබ පතාගත්තද එවැනි සුබ තත්ත්වයක් ඇති වී නොමැති බවද අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.


-ඉන්දිකා හේවාවිතාරණ-