චෝදනාව සමාජ මාධ්‍ය ජාලාවලින් උලුප්පා තිබිණි. එවැනි චෝදනා එල්ල වන්නට ආසන්න හේතු කිහිපයක් ම විය. සාමාන්‍යයෙන් විද්‍යා පීඨ වාර්ෂික නිවාඩු ආරම්භ වීමට තිබූ මේ මාසයේ පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨයේ පැතිර ගිය උණ තත්ත්වයක් සහ ඒ නිසා දරුවන්ටත් මවුපියන්ටත් විඳින්නට සිදුවූ අපහසුතා හමුවේ ඒ චෝදනා සියල්ල එල්ල වූයේ එහි පීඨාධිපතිනියට එරෙහිවය.
පීඨාධිපතිනියට එරෙහිව එල්ල කළ තවත් චෝදනාවක් වූයේ උණ වසංගත පැවැති කාලයේ එහි අධ්‍යාපනය ලැබූ ෆාතිමා ඉල්ලා නැමැති ගාල්ලේ පදිංචි මුස්ලිම් සිසුවියකගේ අකල් මරණයයි. විද්‍යා පීඨය පුරාම උණ වසංගත තත්ත්වය පැතිර යද්දි ඊට නිසි ක්‍රියාමාර්ග නොගැනීම, අසනීප වු දරුවන්ට මානුෂිකත්වයෙන් තොරවූ දැඩි නීතිමය රාමුවක් තුළ කටයුතු කිරීම මෙන්ම දැඩි ලෙස අසනීප වු විටක දී පවා නිවෙස්වලට යෑමට අවසර නොදීම ඒ ප්‍රබල චෝදනා අතර විය.
හමුදාවේ පවත්නා වූ දැඩි පාලන ක්‍රම පවා අබිබවා යන දැඩි පාලනයක් ක්‍රියාත්මක වන්නේ යැයි පවසන මේ පොල්ගොල්ල විද්‍යා පීඨයේ අසන්නට ලැබෙන මේ කතාවේ දෙපාර්ශ්වයේම අදහස් ඒ සැටියෙන්ම හුවා දැක්වීම යුතුකමකි. විද්‍යා පීඨ සිසු සිසුවියන්ගේ සහ මවුපියන්ගේ චෝදනා අදාළ බලධාරීන්ගෙන් විමසා ඔවුන්ගේ කතාවත් සමඟ සම්පිණ්ඩනය කරමින් මේ කතාව දිග හැරෙන්නේ ඇත්ත කුමක් ද යන්න අවබෝධ කිරීමේ අටියෙනි.
මේ එක් පියෙකුගේ චෝදනාවකි.
"මගේ දරුවා ඇයට අසනීප බව අම්මාට දුරකතනයෙන් පවසා තිබුණා. ක්‍රීඩා උත්සවයේ දී තෙමුණු නිසා 40කට ආසන්න පිරිසකට උණ කියලා කිව්වා. පසු දා කතා කරන කොට 90කට උණ වැලඳී ඇති බව කිවා. එකවර හතර දෙනා බැගින් පෞද්ගලික වෛද්‍යවරයෙකුට යොමු කර දරුවන්ගේ වියදමින් බෙහෙත් ලබාදුන් බව කිවා. මම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට කතා කළා. එහෙත් ඔහු දරුවන්ට පරිඝා නොකර විනාඩි පහක් පමණ සිට යන්න ගිහින්. මම පීඨාධිපතිතුම්යට කතා කළා. ඇය පැවැසුවා මොනම හේතුවක් මතවත් නිවාඩු ලබා නොදෙන බව. කටුගස්තොට රෝහලෙන් තුන් වේලම දරුවන්ට ආහාර ලබාදීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. අසනීප දරුවන්ට ආහාර රැගෙන යන සිසුන්ට එසේ නොකරන ලෙස ගුරුවරු පවසා තිබුණා. ඇඳන්වලට වී සිටින ළමයින්ට නත්තල් සැරසිලිවලට සහභාගි වන ලෙස බැණ වැදී තිබුණා. නිවාඩු ඉල්ලූ විට ශිෂ්‍යාභාවය අහෝසි කරන බවට බැණ වැදුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පිඨාධිපතිතුමිය සමඟ කතා කර දරුවන්ට නිවාඩු දිනට කටයුතු කළා.
දරුවන් නත්තල් උත්සවයට සහභාගි වුණේ දැඩි අසාධ්‍ය තත්වයෙනුයි. 11 වැනිදා ඩෙංගු යැයි කී සිසුවියක් රෝහල්ගත කළ පසු මිය ගියා." .... ඔහු අපට කීවේය. ඒ කතාව ඔහු ෆේස් බුක් සටහනක් මගින් පල කර තිබිණි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් දෙමාපියන් කිහිප පොලක් කියන්නේ එකම කතාවකි. පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨයේ වාර අවසාන නිවාඩුවට පෙර සිසුන් 90 දෙනෙකු පමණ එකවර උණ තත්ත්වයෙන් ලෙඩවූ බවත්, ඒ සිසුන්ට සිය නිවෙස්වලට යාමට නොදී විද්‍යා පීඨ න්වාසිකාගාරයේම රඳවාගෙන සිටි බවත්, අසාධ්‍ය තත්වයෙන් සිටි ළමයින් පවා මවුපියන්ගේ දැඩි ඉල්ලීම් කළත් ගෙදර ගෙන යෑමට ඉඩ නොදුන් බවත්, ඒ හේතුවෙන් උණ තත්ත්වයෙන් තම දරුවන් දැඩි ලෙස
රෝගාතුර වූ බවත්, එසේ වූයේ විද්‍යා පීඨ පාලනාධිකාරියේ තිබූ දැඩි මිලිටරි පාලනය නිසා බවත්, මෙවන් මානුෂික කරුණු වලදී වුවත් පිඨාධිපතිනිය සිය නීති රීති ලිහිල් කරමින් කටයුතු නොකරන්නේ මන්දැයි නොතේරෙන බවත් ඔවුහු අසමින් සිටියහ.
පීඨයේ සිසුන්ට රෝගයක් සැදුණ විට දී හෝ මේ පීඨාධිපතිනිය විසින් සිය දැඩි නීති රීති වෙනස් කර නැත. අසනීප සිසුන් ළඟට කෑම රැගෙන ගොස් දිමට ද අවසර දි නැත.
"මෙම පීඨයේ ක්‍රිඩා පුහුණු වීම් වර්ෂාව නොතකා පවත්වනවා. රෑ වෙලා නාලා ලෙඩ හදා ගන්නවා කියලා ළමයින්ට බනිනවා. ... කෙසේ වෙතත් අසනීප වූ විට බෙහෙත් ගැනීමට යෑමටත් ඇය ලේඛනයක් හදා දෙනකම් ඉන්න ඕන. කලින්ම යන්න දෙන්නේ අසධ්‍ය රෝගින්ට පමණයි. අධ්‍යාපන බලධාරීන්ගේ සිත් දිනා ගැනිමට මේ පීඨාධිති තුමීය ගත් උත්සාහයෙන් අමාරුවට පත්වී ඇත්තේ අපේ දරුවෝ". තවත් මවක් කියයි.
මේ බිහිසුණු වටපිටාව පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨය තුළ පවතින්නේ කෙසේ ද? එක් දරුවකු අවසානයේ මිය ගියේ කෙක්ද?. අසනීප වූ විට පවා දරුවන්ට
ගෙදර යෑමට අවසර නොදෙන්නේ මන්ද?. එසේ ගෙදර යෑමට අවසර ඉල්ලිම ශිෂ්‍යාභාවය අහෝසි විය හැකි වරදක් ද?. මෙවැනි දැඩි නීති ක්‍රියාත්මක කිරීම විද්‍යා පීඨයක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ කෙසේ ද?. මෙය වෙනම විමසිය යුත්තකි.
පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨයේ පීඨාධිපතිනි එස්. ජේ.එම්.එස් සමරකෝන් මහත්මිය මේ චෝදනාවලට පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි.
මේ විද්‍යා පීඨවල දරුවන් අධ්‍යාපන කටයුතු වල්ම විෂය සමගාමී කටයුතුවලත් යෙදිය යුතුයි. ගුරුවරයෙකු සතු පෞරුෂය හදන්න මේ සියල්ල අවශ්‍යයි. මේ වසරේ ක්‍රීඩා උත්සවය නොවැම්බර් මස 28 වැනි දා පැවැත්වුවා. එය සංවිධානය කරන්නේ දෙවැනි වසර සිසුන් ක්‍රීඩා උත්සව උත්කර්ශවත් අන්දමින් සිදු කරන කටයුත්තක්. පළමු වසර ළමයි සහභාගි නොවුණත් මෙයට සහාය වුණා. ක්‍රීඩා උත්සවය වේලාවෙදි ලොකු වැස්සක් ඇදහැලුණා. දරුවෝ විතරක් නෙමේයි, අපිත් ගුරුවරුත් තෙමුණා. අපි උගන්වන්නේ බාධක ආවත් නොබියව ඉදිරියට යන හැටි. ඒ නිසා වැස්සෙම ක්‍රීඩා කළා. පසුවදා දරුවන්ට හෙම්බිරිසාව හැදුණා. හොස්ටල්
අරගෙන දුන්නත් රෝහලේ නැවැත්වීමේ අවශ්‍යතාවක් මතු වුණේ නැහැ.
දරුවන් අසනිප වු නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැමිණ දරුවන්ගේ තත්වය සොයා බැලුවා. මේ වන විට දරුවන් ටිකින් ටික සුව වෙමින් තිබුණා. සමහර ළමයින් ගෙදර යන්න ඇහුවා. ඒත් අපි යන්න දුන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. මහනුවර වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පසන් මහතා මේ දරුවන් බලන්න නේවාසිකාගාරයට ආවා. ඒ වෛද්‍යවරයා තේරුම් ගත්තා දරුවන්ට වැලදී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා
රෝගී තත්වයක් කියලා. දින තුනකින් සුව වෙනවා. මෙය පහසුවෙන් බෝවෙන නිසා මේ දරුවෝ ගෙදර යැව්වොත් වටපිටාවටද බෝ විය හැකි නිසා මෙහේම තබාගන්න කිව්වා. වෛද්‍ය උපදෙස් මත අපි දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් ගෙදර යන්න දුන්නේ නැහැ. ඒ වගේම දරුවන්ට අවශ්‍ය සියලුම කෑම බීම නොඅඩුව අපි ලබා දුන්නා.
මේ මාසේ 4 වැනිදා නත්තල් කැරොල් යොදාගෙන තිබුණා. නත්තල් කැරෝල් කරන්න ඉන්නේ කතෝලික දරුවන් 16 දෙනෙයි. මේ නිසා අනෙකුත් දරුවන් සමඟ සහයෝගයෙන් තමයි මේ කටයුතු කරන්නේ දරුවන්ගේ අසනීප තත්ත්වය නිසා මේ උත්සවය නවත්වන්න හැදුවත් දරුවන් කැරෝල්වලට ගොඩ කල් සුදානමින් සිටි නිසා මේ අය නවත්වන්න කැමැති වුණේ නැහැ. ඒ නිසා 4 වැනි දා මෙය පවත්වලා 5 වැනිදා දරුවන්ට නිවාඩු දෙන්න හිතුවා. මේ විද්‍යා පීඨයේ දරුවන්ට ජනාධිපතිවරණය නිසා නොවැම්බර් 9 සිට 20 දක්වා නිවාඩු දුන්නා. ඒ නිසා අපි මුලින්ම නොවැම්බර් 28 වැනිදාට නිවාඩු දෙන්න සිටියත් නිවාඩුව 6 වැනිදා දක්වා කල් දැම්මා. කැරෝල් හොඳින් කළා.
ඒත් සීතාදේව් නේවාසිකාගාරයේ එක් මුස්ලිම් දරුවෙකු අසනීප වුණා. ඒ දරුවා මුලින්ම ප්‍රකාශ කළේ බඩේ අසනීපයක් කියලා. ඒත් අපිට ප්‍රකාශ නොකරපු
ලෙඩක් ඒ දරුවාට තිබිලා තියෙනවා. තමන්ට තියෙන ලෙඩේ රෝහල්ගත කළ පසු හසුවන නිසා ඒ ළමයා වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමට පවා අකමැත්තෙනුයි හිටියේ. මේ දරුවගේ අසාමාන්‍ය ලෙස රුධිර පට්ටිකා බැසීමක් සිදුවුණා. අම්මා අසනීපයෙන් සිටින නිසා ගෙදරට දැනුම් දෙනවට ළමයා අකමැති වුණා. කටුගස්තොට රෝහලෙන් දරුවා මහනුවර රෝහලට ගෙනා පසු අපි මවුපියන්ට දැනුම් දුන්නා. ඒ අය දරුවා බලන්න ආවා. දරුවට තිබුණු ලියුක්මියා රෝගී තත්ත්වය රෝහලට පවා වසන් කරලා තිබුණේ. කෙසේ වෙතත් අවසානයේ 11 වැනිදා දරුවා මිය ගියා. අපිට හරීම දුකයි.
කෙසේ වෙතත් මේ වන විට මරණ පරීක්ෂණ වාර්තව පිටවෙලා තියෙනවා. දරුවා මිය ගිහින් තියෙන්නේ Acute Leukaemia රෝගී තත්ත්වයෙන් කියලා තමයි මහනුවර ජාතික රෝහලේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ."
" මම මේ දරුවන්ට අම්මා කෙනෙක්. මේ ළමයි නිතර නිතර ගෙදර යන්න උත්සාහ කරනවා. ළමයින් ගෙදර යන්න ඇහුවාම ශිෂ්‍යාභාවය අහෝසි කරනවා යැයි කියූ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. අනෙක අසනිප වු දරුවන්ව ගෙදර නොයැව්වේ වෛද්‍ය උපදෙස් මතයි. මේ දරුවන්ට ඩෙංගු හැදුණේ නැහැ. එහෙම හැදෙනවා නම් මුලින්ම හැදෙන්න ඕන මටයි. අලුතින් මේ පීඨවලට එන දරුවන්ට මේ සංස්කෘතියට හුරු විම අපහසුයි. අපි හැම අවස්ථාවේදීම දරුවන් සමඟ ඉන්නවා. මම මේ කියන දේ බොරු නම් ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. " පීඨාධිපතිනිය කීවාය.
ප්‍රධාන කොමසාරිස් ( ගුරු අධ්‍යපන) බි.ඩි.සි. බියන්වෙල මහතා මේ ආයතන සියල්ලේ භාරකාරයාය. ඔහු මේ වන විටත් මේ සියල්ල අධීක්ෂණය කරමිනි. ඔහු
වෙත මේ ගැටලුව යොමු කළෙමු.
“ ඔය කියන කරුණ එක්තරා මවුපියන් පිරිසක් කරන චෝදනාවක් විය හැකියි. 2013 වසරේ සිට විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කිරීමේ යම් යම් පසුබෑම් තිබුණා.
මේ නිසා අපිට පාසල් දරුවන්ට වන අසාධාරණය සහ විද්‍යා පීඨ දරුවන්ට වන අසාධාරණය සලකා 2016-2017 වසර දෙක්ම දරුවන් 8000 ක් එකවර බඳවා - ගැනීම් කරන්නට සිදු වුණා. ඒ නිසා ඉඩකඩ මදි වීම් සෑම විද්‍යා පීඨයකට දකින්නට තිබුණා. නමුත් මේ යථාර්ථය බොහෝ දෙනා තේරුම් ගන්නේ නැතිව විවිධ ප්‍රචාරය කරන්නට පටන් ගත්තා. සමහරු කියලා තියෙනවා අපි දරුවන්ට කස්ටේනර් ඇතුළට දැම්මා කියලා. නමුත් බොහෝ විද්‍යා පීඨ මවුපියන්ගේ සහාය ඇතිව
මේ කටයුතු එකමුතුවෙන් කළා. දැන් මේ තත්ත්වය බොහෝ දුරට සමනය වෙමින් පවතිනවා. මේ කටයුතු සියල්ල පරිපාලනය කළේ විද්‍යා පීඨාධිපති සහ නියෝජ්‍ය විද්‍යා පීඨාධිපතිවරුනුයි."
“මේ නිසා යම් යම් අවස්ථාවල දී යම් යම් ආචාර්ය මණ්ඩලවල අයට වැඩකටයුතු වැඩියෙන් පැවැරුණා. සමහර අවස්ථාවල ඔවුන් එයට විරුද්ධත්වය ප්‍රකාශ කළා. පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨයෙත් මෙවැනි ප්‍රශ්න සහ චෝදනා මතු වුණාම දැනට මාස එකහාමාරකට පෙර අපි ඔය විද්‍යා පිඨයට ගියා, මේ චෝදනා පිරික්සීමට. නමුත් ඒවා නිවැරදි නොවන බව අපි ඇස් දෙකෙන්ම දැක්කා. එහේ නවකවද නැහැ. හොඳ සංස්කෘතියක් දැක්කා. අපේ විද්‍යාපීඨ අතරින් මෙම විද්‍යා පීඨයේ පීඨාධිපතිවරිය දක්ෂිව සිය ආයතනය කළමනාකරණය කරගෙන යනවා. මේ නිසා ඇයට විරුද්ධව මඩ ප්‍රචාර පැමිණෙමින් තිබුණා."
“ගිය සතියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පීඨාධිපතිවරුන්ට රැස්වීම් දෙකක් තිබුණා. ඒ ආ අවස්ථාවේ පොල්ගොල්ල මහවැලි විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමිය දරුවේකුගේ මරණයක් ගැන අපිට පැවැසුවා. නිවාඩු කාලයට දරුවා ගෙදර ගිය පසු ඒ සිදුවීම වෙලා තිබුණේ. මෙහි දී දරුවගේ මවුපියන් සඟවපු ලියුකේමේයා රෝගි තත්වයක් දරුවට තිබිලා තියෙනවා. දරුවන්ගේ මිය යෑම ගැන අපි සොයා බැලිය යුත්තේ වෛද්‍ය වාර්ත පදනම් කරගෙනයි. දරුවන්ට අසාධ්‍ය වූ අවස්ථාවේ පීඨාධිපතිතුමිය මට වාර්තා කළා, මේ දරුවට අසාධ්‍යයි, මේ නිසා දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මවුපියන්ට බාර දෙන වග දන්වන්න. පසුව කෙසේ හෝ ඒ දරුවා මිය ගිහින්. පීඨයටවත් නොකියපු අසනීප තත්වයකින් තමයි දරුවා රෝහලේදි මිය ගිහින් තියෙන්නේ. මේ දරුවගේ මිය යෑම හා අනෙකුත් දරුවන්ගේ අසනීප තත්ව අතර සම්බන්ධතාවයක් නැහැ.
පසුගිය කාලයේ පීඨ බොහෝමයක වෛරස් උණ රෝගීන් වාර්තා වුණා. දරුවන්ට අදාළ කාලය තුළ සම්පූර්ණ කළ යුතු පාඨමාලා තියෙනවා. ඒවා සම්පූර්ණ
නොකළහොත් විභාගයට පෙනී සිටින අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් මෙවැනි හදිසි අවස්ථාවක් පැමිණියහොත් සති අන්තවලින් හෝ ආවරණය කළ හැකි පරිදි දරුවන්ට නිවාඩු ලබා දෙනවා. "
“ ළමයෙකු අසනීප වුවහොත් එයට තීරණ ගන්න විද්‍යා පීඨයේ කමිටුවක් තියෙනවා. එය රැස් වී කළ යුත්ත තීරණය කරනවා. සමහර විට අසනිප වූ දරුවන්ට පමණක් පැවැරුමක් කිරීමේ පදනම මත ගෙදර යන්න අවසර දෙනවා. මුලින් රෝහල්ගත කර දරුවන්ට මූලික ප්‍රතිකාර ලබා දි එයිනුත් බැරි වූ විටයි ගෙදරට යවන්නේ. සමහර මවුපියන් කිසිදු පදනමක් නැතිව ඉල්ලීම් කරන අවස්ථා තියෙනවා. විද්‍යා පීඨවල පරිපාලන ව්‍යුහයට අනුව කණ්ඩායමක් වශයෙනුයි තීරණය කරන්නේ. මගේ නිරීක්ෂණයන්ට අනුව මෙහි හැම කටයුත්තක්ම සිදු වෙන්නේ දරුවන්ගේ යහපතටයි.
“මේ දරුවන් 4000කට ආසන්න පිරිසකට දිමනාවක් වගේම රජය විශාල මුදලක් වියදම් කරනවා. ඔවුන්ගේ විනය හා ශිඝණය අපි බලනවා. මෙවැනි පැමිණිලි පිළිබඳ ඍජුව අපව දැනුවත් කිරීම වැදගත්." එසේ පැවැසූයේ ප්‍රධාන කොමසාරිස් ( ගුරු අධ්‍යාපන) බි.ඩී.සි බියන්වෙල මහතාය.
විද්‍යාපීඨයක් යනු ශික්ෂණය මුල් කරගෙන අධ්‍යාපනය ලබා දී විනය ගරුක ගුරු පරපුරක් බිහිකිරීමේ පරමාර්ථ සහිතව බිහිවූවකි. එහි ඇතුළත් වන සියලු දෙනාම ඇතුළත් වන්නේ ඒ අධ්‍යාපනික සංස්කෘතිය පිළිබඳ නොදැන නොවේ. එයට අනුගත විය නොහැකි අවස්ථාවල ගැටුම් ඇති වීමත් වගකීම් රහිත හැසිරීමත් අන්දුටු අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ හැසිරීම අවසානයේ සිදු කරන්නේ සමස්ත විද්‍යාපීඨ පද්ධතියටම දැවැන්ත හානියකි. එමෙන්ම මේ දැඩි ශිණ ක්‍රියාවලියට යටත් කර සිසුන් නිහඩ කිරීමෙන් අනතුරුව විද්‍යා පීඨ තුළ ක්‍රියාත්මකවන දූෂිත රූප ගැන සහේතුක තොරතුරු ලැබුණු අවස්ථා ද විරල නැත. මේ දෙපාර්ශ්වයම මිට වඩා පරිණත ලෙස සිය වගකීහි හැසිරීම රටට වැඩදායී ගුරු පරපුරක් බිහි කිරීම උදෙසා වැදගත් වනු ඇත.
සුභාෂිණි ජයරත්න