පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය විවෘත කිරිම සඳහා අද (03) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමෙන විශේෂ හමුදා උත්තමාචාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයන් නතර කර ඇත. පාර්ලිමේන්තු සංකීරණ භූමියේදී ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම හමුදා උත්තමාචාරයේ පෙරහුරුවද මේ අනුව අවලංගු කෙරිණි.  මෙයට අමතරව උත්සවය වෙනුවෙන් බාහිර සැරසිලි කිරීමද නතර කර තිබේ.
සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේදී තමා වෙනුවෙන් කිසිදු හමුදා උත්තමාචාරයක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බව පාරිලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත කිරිමේ උත්සවයකදී ජනාධිපතිවරයකුට පිරිනැමෙන ත්‍රිවිධ හමුදා
උත්තමාචාරයට ඇතුළත් වන හමුදා ආචාර පෙළපාළිය, හමුදා ආචාර වෙඩි මුර හා අශ්වාරෝහක බලඇණිය යනාදී අංග කිසිවක් අද පැවැත්වෙන උත්සවයට මේ අනුව ඇතුළත් නොවනු ඇත.  නව සැසිවාරයක් විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයකු වෙනුවෙන් ආචාර චෙඩි මුර 21ක් මෙයට පෙර පිරිනැමිණි.

පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයා, කතානායක, අගමැති හා පාර්ලිමේන්තු නිලධාරින් විසින් පාරිලිමේන්තු සංකීර්ණයේ පිවිසුමේදී අද (3) උදේ 10.00ට පමණ පිළිගැනීම සිදුවිය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමේ උත්සවයේ පෙරහුරුවක් ඊයේ පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඉකුත් වසරේ දෙසැම්බර් මස 2 වැනිදායි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) 11 ව්‍යවස්ථාව අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයා අතින් අද සුබ මොහොතින් විවෘත කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ 8 වැනි පාරිලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයයි. පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරිමෙන් පසුව පාරිලිමේන්තු සංකීර්ණයේදී සංවිධාන කෙරෙන  තේ පැන් සංග්‍රහය අද දින සාමාන්‍ය අන්දමින්  පැවැත්වෙනන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

-සුජිත් හේවාජුලිගේ-