පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස්  බාරයට ගත් හඩ පට සහිත දෘඩ තැටි මාධ්‍ය මගින් ප්‍රචාරය වීමට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත්  එච්.යූ.කේ. පැල්පොල
මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (08) නොතීසි නිකුත් කළේය. ගිනි අවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධ නඩුවට මෝෂන් පත්‍රයක් ගොනු කරමින් නීතිඥ ආශා කහවත්ත මහත්මිය මෙසේ කරුණු දැක්වූවාය.


තම සේවාදායක රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී නඩු භාණ්ඩ
වශයෙන් පොලිස් බාරයට ගත් හඩ පට සහිත දෘඩ තැටිවල අඩංගුව තිබූ දුරකතන සංවාද මාධ්‍යවලට නිකුත්වී මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කිරිමෙන් ඔහු අගතියට පත්කර ඇතැයි නීතිඥ ආශා කහවත්ත මහත්මිය කියා සිටියාය.  තම සේවාදායක රන්ජන් රාමනායක මහතා ඉකුත් 04 වැනිදා බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් බවත්, ඒ අවස්ථාවේදී පොලිසිය සිය භාරයට ගත් දෘඩ තැටිවල තිබූ දුරකතන සංවාද සහිත හඩපට මේ වන විට විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ප්‍රචාරය වෙමින් පවතින බවත් ඇය පැවසුවාය.

ඇතැම් මාධ්‍ය ආයතන මගින් මෙම හඩපට තම සේවාදායකයා අගතියට පත් වන ආකාරයෙන් ඒවා ප්‍රචාරය කරමින් සිටින බවත් මේ හේතුවෙන් තම සේවාදායකයා දැඩි ලෙස අගතියට පත්ව ඇති බවත් සඳහන් කළ නීතිඥ කහවත්ත මහත්මිය, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට යොමු කළ යුතුව ඇති එම දෘඩ තැටිවල ඇති තොරතුරු වෙනත් පාර්ශවයකට සංසරණය වන්නේ කෙසේදැයි යන්න පැමිණිල්ල විසින් අධිකරණයට දැනුම් දිය යුතුව ඇති බවද සඳහන් කළාය.


මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා සියලු මාධ්‍ය ආයතනවල මෙම ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියටත් නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් තැටි වෙනත් පාර්ශ්වයක් වෙත සංසරණය වීම සම්බන්ධයෙන් බස්නාහිර දිසාව දකුණු අපරාධ  කොට්ඨාසයටත් එරෙහිව ජාතික පොලිස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ද නීතිඥවරිය පැවසුවාය. මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කළ මහේස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයාගේ නියමය අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය බාරගත් බවට එම කොට්ඨාසය අද (08) අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත්, මෙතෙක් කිසිදු නඩු භාණ්ඩයක් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු තහවුරු කිරිම සඳහා ලබන 17 වැනිදා එනම් නඩුව කැඳවන දිනයේදී අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කළේය.

ගිනි අවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍යයන් ආඥාපනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කළේ ඉකුත් 05 වැනිදාය.

-නිමන්ති රණසිංහ-