රන්ජන් රාමනායක මහතා පමණක් නොව ඔහුට ඉහළින් සිටි අයද මෙවර "අමාරුවේ" වැටී ඉවර බව පිවිතුරු හෙළ උරුමයි. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ පසුගිය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වූ වාහන කැබලි කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් තමන් 2017 වසරේදී සිදුකළ පැමිණිල්ලකට අදාළව වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඊයේ (06වූ) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. රන්ජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් දුරකථන සංවාද අඩංගු සීඩී පට මඟින් පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පොලීසියට සහ අධිකරණයට කළ බලපෑම් හෙළිවූ බවද එහිදී පැවසූ උදය ගම්මන්පිල මහතා
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,

"රංජන් රාමනායක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාව අපට දොස් නගනවා. පිස්තෝලයක් තිබුණ කියලා, නිල් චිත්‍රපට තිබුණා කියලා මෙයාව අත්අඩංගුවට ගත්තා නේද කියලයි දොස් නගන්නේ. ඒක පට්ටපල් බොරුවක්. පොලීසිය සිදුවීම නිසි ලෙස වාර්තා නොකිරිම නිසයි. මේ වැරදී රටට ගිහිල්ලා තියෙන්නේ. පොලීසිය විසින් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙත්තුවක් ලබාගෙන තියෙන්නේ. රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා තමන්ට ලැබෙන දුරකථන ඇමතුම් ස්වයංක්‍රීයව ගබඩාවන ඇප් එකක් දමා ගෙන සිටිනවා,
මෙම දුරකථනය තිබෙන වාර්තාවන්ට අනුව පසුගිය රජය සමයේ විනිශ්චයකාරවරුන්ට, පොලීසියේ නිලධාරීන්ට තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කිරීම සදහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කළ ආකාරය අපූරුවට සටහන් වෙලා තියනවා.

රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ සමීපතම මිත්‍රයෙක් තමයි මෙම දුරකථනයේ මේවා සටහන් වන බවත්, දුරකථනයේ මතක ගබඩාව පිරුණු විට ඒවා සීඩී තැටිවලට පිටපත් කර සියලුම දුරකථන සංවාද අරන් තියා ගන්නා බවටත් රජයේ දේශපාලකයෙකුට තොරතුරු ලබාදුන්නේ. එම දේශපාලකයා රන්ජන්ගේ මිත්‍රයාව පොලීසිය වෙත යොමු කරලා. පොලීසියට ඔහු විසින් ලබාදුන් දුරකථන සංවාදවලට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සහ පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පොලීසියට සහ අධිකරණයට කළ බලපෑම් හෙළිවුණා.

ඊට කලින් හිටපු සොලිසිටර් ජනරාල්වරයෙක්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වක් වගේම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පාපොච්චාරණය කරමින්, තමන් දේශපාලන බලපෑම් මත දේශපාලන දඩයම්වලට සම්මාදම් වුණාය, නැතිනම් සම්මාදන් වීමට බල කළාය කියලා ප්‍රසිද්ධ කළා. සෑම විටම පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් එය ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කළා. සාක්ෂි තිබුණ නැහැ. ප්‍රකාශ පමණයි. නමුත් ඔන්න දැන් සාක්ෂි එළියට ඇවිත් තියෙනවා. ඒ නිසා පොලීසිය සෝදිසි වරෙන්තුවක් ගත්තේ සිල්ලර කාරණයකට නෙවෙයි. පසුගිය වසර පහ තුළ අධිකරණයට රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටු කිරීමට බලපෑම් සිදුවූ බවට සාක්ෂි තිබෙන
තැනින් එම සාක්ෂි අරගන්නයි.

එතන ගිහිල්ලා පරීක්ෂා කරද්දී පිස්තෝලයක් හමු වෙනවා. පිස්තෝලයක් හමුවුණාම පොලිස් නිලධාරින් බැඳිලා ඉන්නවා නිවසේ අයිතිකරුගෙන් ඒ පිළිබඳ බලපත්‍රය ඉල්ලා සිටින්න. බලපත්‍රය නොමැති නම් ඒ පිළිබඳව උසාවියට වාර්තා කරන්න. පොලීසිය ගිය වැඩේ කළා. දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට අධිකරණය සහ පොලීසිය භාවිතා කළ ආකාරය පිළිබඳව ප්‍රබල සාක්ෂි පොලීසියට  ලැබුණා. ඊට අමතරව එතන තිබුණා බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සහ අසභ්‍ය වීඩියෝ පට, නමුත් පොලීසිය ගියේ මේවා අල්ලන්නට නොවෙයි. ඒවා සිල්ලර කාරණා තමයි.

අල්ලන්නට ගියේ අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධව විමර්ෂන නිලධාරීන්ට බලපෑම් කිරීම පිළිබඳ තිබෙන ප්‍රබල සාක්ෂි සහිත  සී. ඩී. පට. ඒ සියල්ල දැන් අහුවෙලා ඉවරයි. මෙදා පොටේ නම් රන්ජන් පමණක් නොවෙයි රන්ජන්ට උඩින් සිටි අයත් අමාරුවේ වැටිලා ඉවරයි කියන එක අප ජනතාවට දැනුම් දෙනවා" යැයි පැවසීය.

-නිදර්ශි වික්‍රමසිංහ-