රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බවට ජනතාවට පොරොන්දු ලබාදෙමින් පැමිණි ආණ්ඩුව කොළඹ නගරයේ අක්කර තුනක ඉඩමක් හා මත්තල ගුවන්තොටුපොළ විදේශිකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ අනුව කොළඹ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර තිබෙන අක්කර තුනක ඉඩම රුපියල් කෝටි හත්සිය අසූවකට සිංගප්පූරු සමාගමකට ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

මෙම ඉඩම පසුගිය ආණ්ඩුවත් අදාළ සමාගමට ලබාදීමට උත්සාහ කළ බවත්, එහෙත් ජනතා විරෝධය
නිසා එය නැවතී ගිය බවත් හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව මන්තල ගුවන්තොටුපොළ විදේශීය ආයෝජකයෙකුට ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළව ආයෝජකයන් සොයමින් සිටින බවත් විජිත හේරත් මහතා පවසා සිටියේය.

රනිල් මෛත්‍රී ආණ්ඩුව විකුණා දැමූ දේවල් පවා නැවත ලබාගන්නා බවටත්, රටේ දේපළ ආරක්‍ෂා කරන බවටත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූ බවත්, එහෙත් මාස දෙකක් ගතවීමට පෙර රාජ්‍ය සම්පත් විදේශිකයන්ට ලබාදීම ආරම්භ කර තිබෙන බවත් හෙතම පැවසීය.

මීට අමතරව 21 හා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට විජේදාස රාජපක්‍ෂ මහතා සඳහන් කරන බවත්, මෙය ආණ්ඩුවේ උවමනාවකට ගෙන එනවාද යන්න හා ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳවත් රටට පැහැදිලි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විජිත හේරත් මහතා ඊයේ (02දා) දින පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බව සඳහන් කළ අතර, ජනතාවගේ ජනවරමට පිටුපාමින් රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවද සදහන් කළේය.

එසේම දේශපාලන පක්ෂයක් ලෙස රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහිව රටේ ජනතාව අවදියෙන් සිටිය යුතු බවත්, එවැනි අපරාධ වළක්වා ගැනීමට ආණ්ඩුවට බලපෑම් කිරීමට පක්‍ෂය සුදානම් බවත් හෙතෙම පැවසීය.

ඉන්දික හේවාවිතාරණ