රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා,
රන්ජන් රාමනායක මහතාගේ හඩපටි සිදුවීම මම පැති දෙකකින් බලනවා. රන්ජන් රාමනායක මහතා සංවාද පටිගත කිරීම පිළිබඳව බැලිය යුත්තේ විදුලි සංදේශන පනත තුළින්. හැබැයි මාධ්‍ය මගින් එම හඩපට ප්‍රචාරය කරනවිට අප ඒක බලන්නේ විදුලි සංදේශන පනත තුළින් නෙවෙයි. ඒක බලන්න පනතක් අපට නැහැ.
එතකොට අප ඒ සිදුවීම බැලිය යුත්තේ මාධ්‍ය ආචාර ධර්ම පැත්තෙන්. නමුත් මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව කථිකාවක් මේ කිසිම විකාශන පද්ධතියක නැහැ. ඇතැම් පනත්වල තිබෙනවා රූපවාහිනී පනතේ සඳහන් ආචාර ධර්ම අනුගමනය කළ යුතුයි කියලා. ඇතැම් පෞද්ගලික ගුවර්විදුලි සංස්ථා බලපත්‍රවල තිබෙනවා ගුවන්විදුලි සංස්ථාවේ ආචාරධර්ම අනුගමනය කළ යුතුයි කියලා. නමුත් නීතිගත වුණු ආචාරධර්ම පද්ධතියක් ගුවන්විදුලි සංස්ථාවටත් නැහැ. අපේ නීතිය පෙත්රයක් වගෙයි. ඒ නිසා මෙහි යම් විධිමත් ක්‍රමයක් සැකසිය යුතුයි. ආචාර ධර්මවලට අනුගත විය යුතුයි කියලා කිසිම පෞද්ගලික නාළිකාවකට අපිට දෝෂාරෝපණය කරන්න බැහැ. මොකද විද්‍යුත් මාධ්‍ය සඳහා ලංකාවේ පිළිගත් ආචාර ධර්ම පද්ධතියක් නැහැ.
ම්කට ක්‍රමවේදයක් දැන්වත් අපි හදාගන්න ඕනේ. මේ ආයතනවලට ලබාදීලා තියෙන බලපත්‍ර පිළිබඳව කතා කළොත් බලපත්‍ර හතළිහක් නිකුත් කරලා නම් ඒ බලපත්‍ර හතළිස් විදිහක්. කොන්දේසි විවිධයි. සමහර බලපත්‍රවලට ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීමේ අයිතියක් නැහැ. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගෙන් වාර්ෂිකව බලපත්‍රයක් සහ අවසරයක් ලබාගත යුතුයි. ඇතැම් ප්‍රවෘත්ති විකාශයන් මේ මොහොතේ තහනම් කරන්න වුණත් හැකියාව තිබෙනවා.මේකයි දැනට තිබෙන තත්වය. පිටියේ නිදහසේ සෙල්ලම් කරන මාධ්‍ය ආයතනවලට පිටියේ නීති සම්පාදනය කළ යුතුයි. එහෙම නැත්නම් මුව හමට තළනවා වගේ මාධ්‍යවලට බණින එක හරිම අසාධාරණයි. ඔවුන්ට මුදල්, බලය, සංඛ්‍යාත තිබෙනවා. ඒ නිසා ඔවුන් එහි නිදහසේ හැසිරෙනවා.
මහාචාර්ය රොහාන් සමරජීව
"දුරකථන විෂය සම්බන්ධව නීති කිහිපයක් දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වී තිබෙනවා. 1991 අංක25 ශ්‍රී ලංකා විදුලිසංදේශන පනතේ 49 වැනි වගන්තියේ උකොටසයි මෙතැනට වැදගත් වෙන්නේ. පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවුණු සංවාදයක් ඔවුන් දෙදෙනා හැර වෙනත් අයෙකුට ලබාදීම පමණක් වරදක් යනුවෙන් එහි සඳහන් වෙනවා. එම වරදට රුපියල් දහදාහක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් අයත් වෙනවා. එතකොට එම මධ්‍යස්ථානවලට අයතාවිධ ආකාරයෙන් ඇතුළු වී එම ඇමතුම වෙන කෙනෙකු ලබා ගැනීමට තැත් කිරීම වරදක්. එම වරද වෙනුවෙන් රුපියල් විසිදහසක දඩයක් නියම කර තිබෙනවා.
පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවන දුරකථන සංවාදයක් එම පුද්ගලයන් දෙදෙනාගෙන් කවුරුම
හෝ පටිගත කළොත් ඒ සඳහා විරුද්ධව ගත හැකි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ලංකාවේ නීති සංග්‍රහයේ නැහැ. එම නිසා ඔවුන් දෙදෙනාට සංවාදය පටිගත කිරීමේ අයිතිය තිබෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මෙතැනදී මතුවෙන ඊළඟ ගැටලුව තමයි මේ දෙදෙනා අතර වූ සංවාදය අනෙකාගේ අවසරයකින් තොරව හෝ දෙදෙනාගේම අවසරයක් නොමැතිව වෙනත් බාහිර පාර්ශ්වයකට ලබාදීම ඉහත නීතියට අනුව වළංගු
වෙනවාද? යන්න.
අධිකරණ නියෝගයක් යටතේ පටිගත වූ සංවාදයක් ලබාගත හැකියි. ඒක වෙනම සංසිද්ධියක්. දෙදෙනෙකු අතර සිදුවන දුරකථන සංවාදයක් පටිගත කරනවා නම් ඒ පිළිබඳව අනෙක් පාර්ශ්වය දැනුම්වත් කර අවසර ගත යුතුයි කියලා කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල නීතියක් තිබෙනවා.
එම නීතිය ලෝකයේ බොහෝ රටවල නැහැ. සංවාදපට ප්‍රචාරය කිරීම පහුගිය දිනවල ප්‍රවණතාවක් ලෙස සිදුවුණා. එමගින් එම සංවාද ඇසීමටත් ජනතාව පෙලඹුණා. මේක සමාජ මාධ්‍යවලින් සහ විද්‍යුත් මාධ්‍යවලිනුයි දිගින් දිගටම සිදුවුණේ. සමාජ මාධ්‍ය කියන්නේ පරිපාලනයකින් තොරව සිදුවන දෙයක්. නමුත් මාධ්‍ය මෙවැන්නක් ප්‍රචාරය කිරීමේදී ස්වයං වගකීමක් තබාගත යුතුයි කියන මතයේ මම ඉන්නවා. නියාමනය සම්බන්ධයෙන් 1970 ගණන්වල ඉඳලා අපේ නීතියක් සම්පාදනය වී නැහැ. නමුත් කෙටුම්පතක් තියෙනවා.”