මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ලොව පුරා ගුවන් සේවා ආශ්‍රිත අධ්‍යාපනය සඳහා වර්ධනය වෙමින් පවතින
ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම ආයතන ස්ථාපිත කිරීමට තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළ ආශ්‍රිත ජාත්‍යන්තර ගුවන් නියමු පුහුණු ආයතන 02ක් පිහිටුවීම සඳහා වන යෝජනාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, මෙම ආයතන 02 පිහිටුවීම සඳහා අවශ්‍ය විශාල ගුවන් යානා නැවතුම් අංගණ පහසුකම් රත්මලාන ගුවන් තොටුපළ සතු බවත්, එමෙන්ම මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා අවශ්‍ය ඉඩම් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ සතුව තිබෙන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

ආරම්භ කිරීමට අපේක්ෂිත නව පුහුණු ආයතන 02 සඳහා ඩුබායි, තායිලන්තය, මියන්මාරය වැනි රටවලින් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක්ද පවතින බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අදාළව එක්සත් ජාතික එමීර් රාජ්‍යයේ "ඇල්ෆා ඒවියේෂන් ඇකඩමිය” මෙරට ආයෝජනය සඳහා කැමැත්ත පළ කර ඇති බවත්, ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම එකඟතාව පළ කර ඇති බවත් ඇමතිවරයා පවසා සිටියේය.

ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලාංකේය ගුවන් සේවා කර්මාන්තය හා වෙළෙද පොළ තුළ දැනුම හුවමාරු කිරීමේ ප්‍රවේශයක් හඳුන්වා දීම සඳහා මෙම නව ව්‍යාපාරය ඉවහල් වනු ඇති බවත්, මෙම වැඩසටහන් මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්, සුදුසුකම් හා කුසලතා සහිතව බිහිවන ආධුනික ගුවන් නියමුවන්ගේ ගුණාත්මකභාවය හේතුවෙන් රටේ ප්‍රමිතිය ඉහළ යනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමගින් ජාත්‍යන්තර ගුවන් සේවා පුහුණු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සන්නාම ප්‍රතිරූපයද වැඩි දියුණු වනු ඇති බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

2036 වනවිට ගුවන් සේවා කර්මාන්තයට මිලියන 2.1ක අතිරේක ගුවන් නියමුවන්, නඩත්තු කාර්යමණ්ඩල, ගුවන් යානා කුටි කාර්ය මණ්ඩල, ගුවන් ගමන් පාලකවරුන් හා වෙනත් කම්කරුවන් අවශ්‍ය වන අතර, මෙම පිරිස සඳහා වැඩිම ඉල්ලුමක් පවතිනුයේ ආසියා පැසිෆික් කලාපයෙනි. එය ආසන්න වශයෙන් තනතුරු 817,000ක් පමණ වනු ඇතැයි ගුවන් සේවා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයෝ පෙන්වා දෙති.

- නවෝද්‍යා පවනි -