ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. එහිදී තවත් දේශපාලන පක්ෂ 5ක් නව සන්ධානය සමඟ එක්විය. ඒ අනුව 'ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය', 'ලංකා කම්කරු කොංග්‍රසය', 'ජාතික
කොංග්‍රසය', 'දමිළ මහජන විමුක්ති සංවිධානය සහ එක්සත් මහජන පක්ෂය' යන පක්ෂ ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නියෝජනය කරන අතර, මේ අනුව පක්ෂ 14ක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුළත්ව තිබේ.

මේ අතර, නව සන්ධානයේ තනතුරු සඳහා දිනේෂ් ගුණවර්ධන (නියෝජ්‍ය සභාපති), විමල් වීරවංශ (ජාතික සංවිධායක), වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර යන උපසභාපතිවරුද, අසංක නවරත්න, ඩී. කලංසූරිය යන උපලේකම්වරුන්ද මීට පෙර පත්කෙරුණු අතර, එම පත්කිරීම් සඳහා මෙම ප්‍රථම විධායක සභා රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

"මේ අවස්ථාව අපි මැතිවරණයකට සූදානම් වන වෙලාවක්. ඒ මැතිවරණය තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන්න මේ එකතු වීම රට තුළත් සන්ධානය තුළත් විශාල ශක්තියක් වනු ඇතැයි මම හිතනවා. අද එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන අර්බුද අපේ පක්ෂය ඇතුළට එන්න ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ. එහෙම එන්න ඉඩ තියන්න දෙන්නෙත් නැහැ. අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවක් මේ තියෙන්නේ.

පාර්ලිමේන්තු බලය අපිට ලබාගන්න අවශ්‍යයි. ඒ පාර්ලිමේන්තු බලය තුළ වැඩපිළිවෙළක් සමඟ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. අපේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට අරගෙන යෑමයි. එම වැඩපිළිවෙළට අප සියලු දෙනාගේම සහයෝගය පක්ෂ වශයෙන් ලබාදිය යුතු යැයි මම විශ්වාස කරනවා. ඒ සඳහා එකතු වීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් විශාල ජයග්‍රහණයක් අපට ලබාගත හැකි වේ යැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ සියලු දෙනා එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." යැයි පැවසීය.

මෙම විධායක සභා රැස්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල සාමාජිකයන්ද සහභාගි වී තිබේ.

- දිනේෂ් සමරකෝන් -