නිධානයකින් ගත් බවට සැකකෙරන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදු පිළිම දෙකක් රුපියල් කෝටි 10 ක මුදලකට අලෙවි කිරීම සඳහා මොනරාගල සිට කොළඹට රැගෙන එමින් සිටි පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (26) පස්වරුවේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී
අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.  මෙයින් එක් බුදු පිළිමයක් රන් පැහැති බවත්, අනෙක් පිළිමය විශේෂ පාෂාණ වර්ගයකින් නිමකළ කහ පැහැති එකක් බවත් පොලිසිය පවසයි. සැකකරු මොනරාගල ඩෝසර්වාඩිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තැනැත්තෙකි.

මෙම සැකකරු සතුව අවි ආයුධ ඇති බවටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් පෙරේදා පෙරවරුවේ සැකකරුගේ මොනරාගල නිවසට ගිය අවස්ථාවේ සැකකරු දඹ රන් පිළිමයක් ඇතුළු පිළිම දෙකක් කෝටි 10ක මුදලකට අලෙවි කිරීම සදහා කොළඹට රැගෙන ගිය බවට හෙළි වූ බව පොලිසිය පවසයි. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන නිලධාරින් කණ්ඩායමක් පස්වරු 3.00 ට පමණ මධ්‍යම බස් නැවතුම් පොළේ රැදී සිටියදී බෑගයක් එල්ලාගෙන මොනරාගල බස් රථයෙන් බැස පැමිණෙන සැකකරු හඳුනාගෙන ඔහුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී ඉහත බුදු පිළිම දෙක සොයාගෙන තිබුණි.

සැකකරුගේ ගමන් මල්ලේ තිබූ එක් පිළිමයක් රන් පැහැති හිටි පිළිමයක් බවත් එය දඹරන් බවට සැකකරු පැවසූ බවත් පොලිසිය එම පිළිමය අඟල් 18 ක් උස, කිලෝ 11 යි ග්‍රෑම් 805 ක බරකින් යුත් එකක් බව ද පොලිසිය පවසයි. කහපැහැති සෙසු පිළිම වහන්සේ අගල් දෙකක් උස, ග්‍රෑම් 152 ක බරකින් යුක්ත එකක් බව ද පොලිසිය පවසයි.  සැකකරු මෙම පිළිම දෙක කිසිවකුට අලෙවි කිරීම සඳහා කොළඹ රැගෙන ආ බවට ප්‍රශ්න කිරීම් දී හෙළිවී ඇත. මෙම රන් පැහැති පිළිමයේ ස්ථාන  කිහිපයක කොටස්වලට හානි සිදුව ඇති බවත් මෙය මීට පෙර මිලදී ගැනීමට සූදානම් වූ පිරිස එය රන් පිළිමයක් ද යන්න හෙළිකර ගැනීම සඳහා  කොටස්වලට හානි කර පරික්ෂා කර ඇති බව ද පොලිසිය පවසයි.  මෙම පිළිමය සැකකරුට ලැබුණු ආකාරය හා එය අලෙවි කිරීමට රැගෙන ආවේ කාටද යන්න හෙළිකර ගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් පසුවේ.

-ඉන්දිකා රාමනායක-