සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත් වූ රියැදුරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනාගේ වේශ නිරුපණය සඳහා රුපියල් 15,000ක මුදලක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් මලික් විජේනායක මහතා ගෙවා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නේය.


තවද මේ සඳහා පහසුකම් සැපයීම සිදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රවෘත්ති නිලධාරී තරිදු චතුරංග බවට හඳනා ගෙන ඇති බවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු සඳහන් කළේය.

මීට අමතරව පළමු සැකකරු හා දෙවන සැකකරු ඉකුත් මස 6වෙනි දින අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දි ඇති බවට ද රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

වේශ නිරුපණය සිදු කළ සමන් පුෂ්ප කුමාර යන අයගේ ප්‍රකාශ අනුව නො 129, පමුණුව පාර, මහරගම පදිංචි ලිපිනයේ අල්මාරියේ තිබී එක් රැවුලක් විමර්ශනය සඳහා සොයා ගත් බව රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.

මෙම සිද්ධියට අදාලව එක්සත් ජාතික පක්ෂයේ දැරණියගල ප්‍රධාන සංවිධායක රංජිත් පොල්ගම්පල හා උපුල් තුෂාර යන අයගේ ප්‍රකාශ ලබා ගැනීමට ඇති බවට රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

තවද නො 22 ස්ටැන්මෝ චන්ද්‍රවංශකය කොළඹ 7 පදිංචි හිටපු අමාත්‍ය නම්බුකාර හැලඹගේ රාජිත සේනාරත්න මහතා ඉකුත් 14 දින ප්‍රකාශයක් ලබා දුන් බවත් 2019 ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතුවලදී තමන් ප්‍රධාන කථිකයකු ලෙස පත් කර තිබූ බවත් දැරණියගල යටියන්තොට මැතිවරණ කොට්ඨාසයේ රැස්වීම් කිහිපයක් සඳහා සහභාගී වූ බවත් එහිදි දැරණියගල ප්‍රධාන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතා එහි රැස්වීමට ගිය අවස්ථාවේ දී සුදු වෑන් සම්බන්ධ තොරතුරු ලබාදීමට පිරිසක් සිටින අතර එදින වේලාවක් නොතිබූ බැවින් පසුව දුරකථන ඇමතුමක් දී දිනයක් වෙන් කර ගත් බව සඳහන්ය.


පසුව පොල්ගම්පල යන අය තමාගේ ආරක්ෂක නිලධාරී සහභාගී වී මෙම මාධ්‍ය පුද්ගලයන් තමා වෙත ඉදිරිපත් කළ බවත්, පසුව මධ්‍ය හමුව සංවිධාන කර තිබූ අතර, ඔවුන්ට මුදල් හෝ වෙනත් වරප්‍රසාද ලබා නොදුන් බවට හෙතෙම ප්‍රකාශ ලබා දෙමින් පවසා ඇත.

තවද 2020 /2/3දින සහිත ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂක විසින් එච්.ඩි 712/19 වාර්තා අධිකරණයට හා රහස් පොලීසියට පිටපත් යොමු කර ඇති අතර එම ඩීවීඩී තැටි කටහඬ පළමු සැකකරුවන සකලවල්ලිආරච්චිගේ සරත් කුමාර හා දෙවන සැකකරු වන වටරැකගමගේ අතුල සංජිව මදනායක යන දෙදෙනාගේ කටහඬ බවට හඳුනා ගත් බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවීම අප්‍රේල් මස 3වෙනි දිනට කල් දමමින් හතරවන සැකකරුගේ විදේශ ගමන් සම්බන්ධ සලකා බැලීම සඳහා මාර්තු 3වන දින කැදවීමට ද දින නියම කළාය.