ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනීම හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ද ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් කෝටි 152ක් වැයකර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට කටයුතු කළ පාර්ශවවල තිරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු, යැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.ඩී. වික්‍රමරත්න මහතා නිර්දේශ කර ඇත. විගණකාධිපතිවරයා
පසුගිය 20 වැනිදා එම නිර්දේශය කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා පෞද්ගලික ගොඩනැසිල්ලක් කුලී පදනම මත ලබා ගැනිම සම්බන්ධයෙන් කළ  විශේෂ විගණනයකින් පසුව සිය වාර්තාව ඉදිරිපත් කරමිනි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව බත්තරමුල් හෙක්ටයාර් එකක භූමියක් තිබිය දී එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීමකින් තොරව මෙම  ගොඩනැගිල්ලේ කුලිය වශයෙන් මසකට රුපියල් දෙකෝටි දසලක්ෂය බැගින් වර්ෂ පහක් සඳහා රුපියල් කෝටි 126ක් ගෙවීමට රජයේ පාර්ශව එකඟ වී තිබුණු බව ද විගණනයේදි අනාවරණය වි තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු සෙත්සිරිපායේ පවත්වාගෙන යාම සිදහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබිය දී එය ප්‍රමාණවත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍යවරයා කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එසේ ප්‍රමාණවත් නොවීමට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කර නොතිබූ බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිමෙන් පසු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටි අනුගමනය කිරීමකින් තොරව මෙම පෞද්ගලික ගොඩනැගිල්ල‍ තෝරාගෙන තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරික්ෂණය කර ඇත. එලෙස තෝරාගන්නේ මෙම පෞද්ගලික ගොඩනැගිල්ල සම්මත උස සහ මහල් සාංඛ්‍යාව ඉක්මවා අනුමැතියකින් තොරව ඉදි කිරිම සිදු කර තිබුණි ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ.  අනුමත මහල් සංඛ්‍යාවට වඩා මහල් තුනක් වැඩියෙන් හා අනුමත උසට වඩා අඩි 33ක් වැඩියෙන් උසට ඉදි කර තිබු මෙම ගොඩනැගිල්ල නිත්‍යනුකුල ඉදි කිරිමක් නොවී තිබිය දී කෘෂිකර්ම අමත්‍යාංශය එය තෝරාගෙන ඇති බව විගණකාධිපති වාර්තාවේ සදහන් වේ.

ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම්ගත දිනය වූ 2016 අප්‍රේල් 08 වැනි දින සිට 2017 ජුනි මාසය දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලට ගෙන නොයෑම නිසා අදාළ කාලයේ රුපියල් කෝටි 32ක් අනාර්ථිකව වියදම් කර තිබුණු බවත්, මෙම කාල සීමාව සඳහා සේවා ගාස්තු ලෙස වර්ග අඩියකට රුපියල් 60 බැගින්
රුපියල් නවකෝටි විසිහත් ලක්ෂයක අතිරේක‍ෙ මුදලක් ගෙවා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණු ලීබඩු හා උපකරණ ඉහළ වටිනාකමකින් යුතු හා භාවිතයට ගත හැකි මට්ටමේ තිබුණ ද එම උපකරණ වෙනත් රජයේ ආයතනයකට බෙදා දී මෙම  ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන එකළොස් කෝටි හතළිස් හය ලක්ෂයක් වැය කර ලිබඩු උපකරණ අලුතින් මිලදී ගැනිමට කටයුතු කර තිබුණු බව ද විගණන පරික්ෂණයේදි නිරික්ෂණය වී  තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය කලින් තිබූ ගොඩනැගිලෙන් ගෙන යෑමට හේතුව ලෙස පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරිම හා අතිරේක කාර්යාලවලට ඉඩ ලබා ගැනීම  බව සඳහන් කර තිබුණ ද 2019 දෙසැම්බර් මාසයේ අවසානය දක්වාම අදාළ කටයුතු සඳහා එම ඉඩකඩ භාවිත කර නැති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

මෙම පෞද්ගලික ගොඩනැගිල්ලේ හිමිකරු විසින් ඉදිරිපත් කළ කොන්සේදිවලට එකග වී රජයේ ප්‍රසම්පාදන පටිපාටිවලට පටහැනිව, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නියෝග මෙන්ම විගණන විමසුම මඟින් පෙන්වා දී තිබු කරුණු ද නොසලකමින් ගිවිසුම අත්සන් කර තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.