චීනයේ වූහාන්වල සිට ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරස වසංගතය හෙවත් 'කෝඩ් 19' හේතුවෙන් දැනට මාස දෙකක පමණ කාලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළද සීරුවෙන් තබා තිබේ.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් යානාවල නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය, කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ වන ශ්වසන අපහසුතා, 100 F ඉක්මවා උණ රෝගය පැවතීම සහ කැස්ස යන රෝග ලක්ෂණ කිසියම් ගුවන් මගියෙකු වෙත පවතින්නේනම් වහාම ගුවන් යානය ගොඩ බැස්සවීමට පෙර ගුවන්තොටුපොළ දැනුම්වත් කිරීමට උපදෙස් දී තිබේ.

ඊට අමතරව මෙවැනි රෝග ලක්ෂණ සහිත ගුවන් මගියෙකු ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයෙන් ගුවන් තොටුපොළ තුළට ඇතුළු වුවහොත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්ද ඔවුන් නිරීක්ෂණය කර වහාම ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත අදාළ තොරතුරු වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇත.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය , විශේෂ ස්වයංක්‍රීය උපකරණ මඟින් මෙහිදී මැන බැලීම සිදු කෙරෙන අතර, එවැනි උෂ්ණත්වය මනින උපකරණ 04ක් මේ වනවිට ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කර තිබේ.

මෙම උපකරණයන්හි නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් අනුයුක්ත කර ඇති අතර, මීට අමතරව දවසේ පැය 24 පුරා ගුවන්තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත විෂබීජ නාශක දියර භාවිතා කරමින්, නිරන්තරව විෂබීජ හරණයට පියවර ගෙන තිබේ.

මෙසේ සිදු කෙරෙන පරික්ෂා කිරීම්වලදී කිසියම් රෝගියෙකු අනාවරණය වුවහොත්, ඔහු වහාම රෝහල් ගතකිරීම සඳහා විශේෂිත ගිලන් රථ කිහිපයක්ද මේ වනවිට ගුවන්තොටුපොළ තුළ සූදානම් කර තිබේ.

- ටී.කේ.ජී.කපිල -