මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ සභාපති ලෙස පත්කිරීම තුළින් තම පක්‍ෂයට 2/3 බහුතරය ලබාගත හැකි බව තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, 25දා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නොමැතිව වුවද මාර්තු මස නඩු වාරයේදී අදාළ දඩුවම් නියම කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"අලුත් ආණ්ඩුවට 25දා 100ක් පිරෙන වෙලාවේ අපි තීරණය කරලා තියෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉවත් වෙන්න. මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරලා තියෙනවා මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ජිනීවාවල ගිහින් සම අනුග්‍රහය දැක්වූයේ ඇමෙරිකාවත් සමඟ එකඟ වුණේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියවත් නැතිව. සම අනුග්‍රහයක නිරත වෙනකොට ඕනම රටක නීතියක් තියෙනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයෙත් රජයෙත් එකඟත්වයකට පත් වුණාට පස්සේ තමයි සම අනුග්‍රහය දක්වන්නේ. තිස් වසරක යුද්ධයේදී සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අපේ හමුදාව ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සටන් කළා. මේ සඳහා වෙනත් රටවල අතපෙවීමකට ඉඩ දිය නොහැකි නිසා අපට ගන්න පුළුවන් පළමුවැනි අවස්ථාවේදි අපි මේ සම අනුග්‍රහයත් ඉවත් වෙන්න තීන්දු කරලා තියෙනවා.

ඒත් එක්කම මහ බැංකු බැඳුම්කරයට 27 වැනිදාට අවුරුදු 05ක් පිරෙනවා. නමුත් අවුරුදු 05ක් ගිහිනුත් තවමත් අදාළ පාර්ශවයන්ට දඬුවම් නැති එක ගැන කනගාටු වෙනවා. ඒ නිසා අවුරුදු 05 පිරෙන වෙලාවේ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ සිංගප්පුරුවේ නීතිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට භාරදීම පිළිබඳ තවත් නීතිමය ප්‍රශ්න තියෙනවා නම්, දැන් මාර්තු මාසයේ නඩු අහන්න දින නියම කරලා තියෙනවා. කරුණාකරලා මේ මහ බැංකු හිටපු අධිපතිවරයා නැතිව නඩු අහලා දඬුවම් තීන්දු කරන්න ඕන. එතකොට අපට ඉදිරි පියවරට යන්න පුළුවන්” යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා,

“මෙහි පැහැදිලිව බලය තියෙන්නේ නායකයාට සහ ප්‍රධාන ලේකම්වරයාට. අපට 2/3 බලය ලබාගන්න පුළුවන් වෙන්නේ සියලු දෙනාම එකතු කරලා. මං හිතනවා අපට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ මේ කටයුත්තත් එක්ක කියලා” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

-ෂවින්ද්‍යා එරන්දතී -