https://www.gossiplankanews.com/2020/02/23-unawatuna-murder.html#more
කංකානම්ගේ නිලූකා චාමලී එක්දරු මවකි. ඇය උණවටුන යද්දෙහිමුල්ල ප‍්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියාය. ඇගේ සැමියා පවුල් ආරවුලක් මත සිටිනුයේ නිලූකාගෙන් වෙන්ව විදේශගතවය. ඇය සිය සැමියා සමග එතරම් ඇයි හොඳැයියක් පවත්වාගෙන නොගියාය. සැමියා විසින් මෙකී තැනැත්තියගෙන් වෙන්වීම සඳහා අධිකරණයේ දික්කසාද නඩුවක්ද පවරා තිබූ අතර
එය විභාග වෙමින් පැවතියේය. ඒ විතරක් නොව ඉඩකඩම් හා දේපළ සම්බන්ධයෙන්ද මොවුන් දෙදෙනා අතර ගැටුම් පැවතුණි. ඇතැම් නඩුහබ අධිකරණයේ විභාග වෙමින් පැවතුණි. උණවටුනේ සංචාරක නිකේතනය පිහිටි ඉඩම මිලදීගෙන තිබී ඇත්තේ ඇයගේ සැමියා විසින්ය.

 නිලූකාගේ එකම පුතු තවමත් සත් හැවිරිදි වියේ පසුවෙන පුංචි කොලූපැටියෙකි. තම පුංචි පුතුද රැකබලා ගනිමින් නිලූකා සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගියාය. නිලූකා තම පුතුට පණමෙන් ආදරය කළාය. දිනය ඉකුත් 09 වැනිදාය බටහිර මුහුදේ හිරු ගිලී යද්දී උණවටුන සංචාරක කලාපය ක‍්‍රමයෙන් ඇහැරෙමින් තිබුණි. උණවටුන සංචාරක පුරවරය වඩාත් විචිත‍්‍ර වන්ගේ රාත‍්‍රී කාලයේදීය. විදුලි බුබුළු වලින් සංගීතයෙන් රස මුසු ආහාර පාන ඇතුළු මෙකී නොකී සියලූ දෙයින් උණවටුන විචිත‍්‍රවත් වන්නේ රාත‍්‍රිය එලඹිමත් සමගය. කොටින්ම කිවහොත් උණවටුන නොනිදින සංචාරක කලාපයකි. ඇතැම් හෝටල් හා සංචාරක නිකේතන මැදියම වනතෙක් විවෘතව ඇත්තේය. රාත‍්‍රි කාලයේදි උණවටුන සංචාරක කලාපය තුළ ඇත්තේ දැඩි කාර්ය බහුල බවකි. විදේශිකයන්ද රාත‍්‍රි කාලයට ඒ මේ අත පාගමනින් යමින් උණවටුනේ අසිරිය විඳ දරාගනිති.


 නිලූකා තම පුතු සමග හෝටලයේ ආපන ශාලාවට වී සිටියාය. මැදියම් රැයට ආසන්න වෙමින් තිබුණි. පොඩි පුතුද ඇය ආසන්නයේ රැඳෙමින් සිටියේය. යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඇය ඝාතනය කොට පලාගියහ. හොටල් හිමිකාරියගේ ඝාතනයත්ද සමග උණවටුන සංචාරක කලාපය ත‍්‍රාසයෙන් හා භීතියෙන් ඇළලීගොස් තිබුණි. උණවටුන සංචාරක කලාපයටත් පාතාලයන් ඇවිත් ඇතැමුන් කියන්නට වූහ. ඒ කොයි හැටිවුවද හබරාදුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. කේ. ප‍්‍රියන්ත උදය කුමාර මහතාද කඩිනමින් අපරාධය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය. නිලූකා චාමලී මීට පෙරද ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තා වී තිබිණි. මෙකී කාන්තාවගේ සැමියා පදිංචිව සිටින්නේ ඉතාලියේය. ඉකුත් වසරේ ජුනි මාසයේදි විදේශගතව සිටින නිලූකාගේ සැමියා විසින් ඇය ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලකට කොන්ත‍්‍රාත්තුව ලබාදී තිබුණේ හික්කඩුව ප‍්‍රදේශයේ කාන්තාවකටය. නිලූකා මෙකී ස්ථානයෙන් ඉවත්කර දේපළ තමන් අතට ගැනීමට ඇයගේ සැමියා උත්සාහ කරමින් සිටි බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.

 මෙකී ඝාතනයත් සමග හබරාදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත උදයකුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කොටුකරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. හෝටල් හිමිකාරිය ඝාතනය වන අවස්ථවේ හෝටලයේ සේවය කරමින් සිටි සේවකයන් දෙදෙනා පැනගොස් තිබුණි. පොලිසිය විසින් එම සේවකයන් දෙදෙනාද පොලිසියට කැඳවා ප‍්‍රශ්න කරනු ලැබීය. හෝටල් හිමිකාරියගේ කුඩා පුතුද පොලිසියට රැගෙනවිත් තිබුණේ එම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙනි. අනේ පොලිස් මාමේ මේ මාමලා දෙදෙනා අපේ අම්මාත් සමග හිටියේ. හොරු මාමලා දෙන්න ගෙනවිත් කූඩුවට දමන්න කුඩා පුතු කීවේය. කුඩා පුතුගේ මේ කථාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිත සසල කිරීමට සමත්වූයේය. ජීවත්ව සිටින කුඩා පුතුට සාධාරණත්වය ඉටුකිරීම සඳහා මෙකී ඝාතනයට සම්බන්ධ ඝාතකයන් කොටුකරගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා අදිටන් කරගත්තේය.

 පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පරීක්ෂණ කණ්ඩායම පළමුව එම ස්ථානයේ තිබූ සී. සී. ටී. වී කැමරාවල සටහන්ව තිබූ දර්ශන ගෙනවිත් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය. නමුත්. සී. සී. ටී. වී කැමරාවල තිබූ දර්ශන එතරම් පැහැදිලි නොවීය. මෙකී අපරාධය වන අවස්ථාවේ කාර් රථයක් ඒ මේ අත සැරිසැරූ බවට පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබුණේය. ඉන්පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය. පරීක්ෂණ කටයුතු සඳහා ජී. පී. එස්. තාක්ෂණය මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තාද උපයෝගි කරගනු ලැබීය. හෝටල් හිමිකාරිය ඝාතනය කොට තිබුණේ ඉකුත් 09 වැනි දින රාත‍්‍රි 11.46 ටය. හරියටම 11.48 ට එම කාර් රථය අපරාධය වූ ස්ථානය හරහා ඇති මාර්ගය දිගේ පිටව යන අයුරු පොලිස් ස්ථානාධිපතිවරයා නිරීක්ෂණය කළේය.

 හොටල් හිමිකාරියගේ ඝාතනයට සම්බන්ධ ඝාතකයන් කොටුකරගැනීම සඳහා මෙම කාර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ යුතු බව පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත උදය කුමාර මහතා අවබෝධ කරගත්තේය. කාර් රථයේ අංකය සොයාගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකිවිය. ඒ ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය. මෙකී කාර් රථය අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ කුලී පදනම මත කාර් රථ ලබාදෙන ස්ථානයකින් ලබාගෙන ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගත්තේය. එම ආයතනයේ තිබී කාර් රථය පොලිස් භාරයට ගනු ලැබීය. කුලී පදනම මත කාර් රථය රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ ඉන්පසු පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. ඒ ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් හෝටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව ලබාගත් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත උදය කුමාර මහතා විසින් මෙකී ඝාතනය සම්බන්ධයෙන් සැකකරුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළේය. අවසානයේ පොලිසිය ඉදිරියේ ඔහු සියල්ල වමඇරීය. ඉන්පසු

මෙකී ඝාතනයේ සුලමුල අනාවරණය වන්නේ මේ අයුරිනි.

 හොටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා විදේශගතව සිටින ඇයගේ සැමියා විසින් රුපියල් ලක්ෂ 23 ක මුදලක් ලබාදීමට සැකකරුට පොරොන්දු වී තිබුණි. මේ ගෑණිව මට මහා කරදරයක් ඕකිව ඉවරයක් කරලා දමන්න කොන්ත‍්‍රාත්තුව ලබාදෙමින් විදේශතව සිටින සැමියා එසේ පවසා තිබුණේය. ඉකුත් වසරේ ජුනි මාසයේදීද විදේශගතව සිටින නිලූකාගේ සැමියා විසින් ඇය ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලකට කොන්ත‍්‍රාත්තුව ලබාදී තිබුණි. එම අවස්ථාවේ ඇය ඝාතනය කිරීමට නොහැකි විය.

 මෙවර හෝටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව ලබාගත් සැකකරු මීට මාස කිහිපයක සිට ඇය ඝාතනය කිරීම සඳහා සැලසුම් කළේය. ඒ සඳහා ඔහු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ කරගනු ලැබීය. මොවුන් උණවටුන ප‍්‍රාදේශයේ සැරිසරමින් හෝටල් හිමිකාරියගේ තොරතුරු මෙන්ම හෝටලය අවට ඡායාරූප ලබාගනිමින් විදේශතව සිටින සැමියාට ඉමෝ තාක්ෂණය හරහා යොමු කිරීමට කටයුතු කරනු ලැබීය. එවිට විදේශගතව සිටින සැමියා විසින් මොවුන්ගේ ගිණුමට වියහියදම් කටයුතු සඳහා රුපියල් පහළොස් දහස, විසිදහස වශයෙන් මුදල් බැරකරනු ලැබීය. මොවුන් මේ සෙල්ලම ටික දිනක් කරගෙන යනු ලැබීය. ඕක හරියන්නේ නැහැ. ඔය ගෑණිව ඉක්මන්ට ඉවරයක් කරලා දමන්න විදේශතව සිටින හෝටල් හිමිකාරියගේ සැමියා කීවාය.

 ඉන්පසු ඝාතන කොන්ත‍්‍රාත්තුව ලබාගත් සැකකරු මේ සඳහා අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ කරගනු ලැබීය. ඉන් එක් අයෙක් විවාහ වී සිටියේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ කාන්තාවක් සමගය. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකාය හැරගොස් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි. මොහු වාණිජ්‍ය අංශයෙන් අ.පො. ස උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති අයෙකි. මොහු අකුරු කළේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලකිනි. ඒ විතරක් නොව මෙකී පුද්ගලයා රුපියල් ලක්ෂ 10 කට තම වකුගඩුව තවත් පුද්ගලයකුට ලබාදී ඇති අයෙකි. අනික් පුද්ගලයා ලීසිං වාහන අත්පත් කරගැනීමට යන පුද්ගලයෙකි. ණයබරින් හා විවිධ ප‍්‍රශ්නවලින් මිරිකී සිටි මොවුන් දෙදෙනා හෝටල් හිමිකාරිය ඝාතනය කිරීමට එකඟ වූහ. මොවුන් දෙදෙනාට අවශ්‍ය වූයේ හෝටල් හිමිකාරිය ඉතා ඉක්මනින් මෙලොවින් තුරන්කොට පොරොන්දු වූ මුදල ලබා ගැනීමටය.

 ඒ අනුව විශේෂ කාර්ය බළකාය හැරගොස් සිටි සෙබළා උණවටුන ප‍්‍රදේශයට පැමිණ හෝටල් කාමරයක නතර වී හෝටල් හිමිකාරියගේ තොරතුරු ලබා ගත්තේය. ඇය ඝාතනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කළේය. පසුගිය දෙසැම්බර් මස 18 වැනිදා හෝටල් හිමිකාරියගේ දික්කසාද සම්බන්ධ නඩුවක් මාතර අධිකරණයේ තිබූ අතර ඇය එදින ත‍්‍රිරෝද රථයකින් මාතර බලා පිටත්ව ගියාය. එදින විශේෂ කාර්ය බළකාය හැරගොස් සිටි පොලිස් කොස්තාපල්වරයා ඇතුළු කණ්ඩායමක් හෝටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා කාර් රථයකින් ඇය ගමන්කළ ත‍්‍රිරෝද රථය පිටුපසු ලූහුබැඳ ගියද එදින මොවුන්ගේ උත්සාහය සාර්ථක නොවීය.

 ඉන්පසු මොවුන් හොටල් හිමිකාරිය ඝාතනය කිරීම සඳහා යළි සැලසුම් කළේය. ඒ සඳහා රුපියල් 1,10,000ක මුදලක් ගෙවා ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මිලදී ගත්තේය. අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ සිට මෙම විශේෂ කාර්ය බළකායේ සෙබළා හා ලීසිං වාහන අත්පත් කරගන්නා පුද්ගලයා යතුරුපැදියෙන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයට ඉකුත් 09 වැනිදින පැමිණියහ. කොන්ත‍්‍රාත්තුව භාරගත් සැකකරු මන්නා පිහියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මොවුන්ට ලබාදෙනු ලැබීය. මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් උණවටුන බලා පිටත්වූහ. කාර් රථයේ පුද්ගලයන් සිව්දෙනකු සිටි අතර ඔවුන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාට ආරක්ෂාව ලබාදෙමින් කාර් රථයෙන් ගමන් කරනු ලැබීය. මොවුන් කාර් රථය නවත්වා බියර් පානය කරමින් යළි ගමන් ආරම්භ කොට ඇත.

 යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා 09 වැනිදින රාත‍්‍රි හෝටල් හිමිකාරියගේ හෝටලයට ඇතුළු වූහ. කාර් රථයෙන් පැමිණි පිරිස වැල්ලදේවාල මාර්ගයේ ඒ මේ අත ගමන් කරමින් සිටියෝය. ඝාතකයන්ගේ අරමුණ වූයේ හෝටල් හිමිකාරියට වෙඩිතබා පලා යෑමයි. එහෙත් හෝටල් හිමිකාරිය තම කුඩා පුතු තුරුළු කරගෙන සිටියාය. විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළා පළමුව කුඩා පුතු අතින් ඇද තම ග‍්‍රහණයට ගනු ලැබීය. ඒ සමග හෝටල් හිමිකාරිය බිම ඇදවැටුනාය. ගතවූයේ නිමේෂයකි. අනික් පුද්ගලයා මන්නා පිහියෙන් හෝටල් හිමිකාරියගේ ගෙල දෙකඩ වෙන්වී යන ලෙස කපා දමනු ලැබීය. ඉන්පසු පොලිස් විශේෂ කාර්ය බළකා හිටපු කොස්තාපල්වරයා හෝටල් හිමිකාරියට වෙඩිල්ලක් තබා දෙදෙනා යතුරුපැදියේ නැගී පලාගියහ.

 පසුව මොවුන් දෙදෙනා කාර් රථය වෙත පැමිණියහ. මන්න පිහිය සහ ගිනි අවිය කාර් රථයට දමනු ලැබීය. යතුරුපැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය කරාපිටිය ප‍්‍රදේශයේ දමා කාර් රථයට ගොඩවූහ. පසුව සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ලට ඇරලවීමට කටයුතු කරනු ලැබීය. හොටල් හිමිකාරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර විශ‍්‍රමික යුද හමුදා මේජර්වරයකුගේ පුත‍්‍රයකු සිටින බවද පොලිසිය පවසයි. ඇය ඝාතනය කිරීම සඳහා යොදාගනු ලැබූ මන්න පිහිය, මෙරට නිෂ්පාදිත ගිනි අවිය, සහ මොවුන්ට ආරක්ෂාව ලබාදෙමින් පැමිණි කාර් රථයද පොලිස් භාරයට ගෙන ඇත. මන්නාපිහිය අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ කුණු ඇළක තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර මෙරට නිෂ්පාදිත ගිනි අවිය අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ තිබියදී සොයාගෙන තිබේ.

 හෝටල් හිමිකාරිය ඝාතනය කළ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ අනික් සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 13 ක මුදලක් ලබාදී ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී ඇත. විදේශතව සිටින සැමියා විසින් හෝටල් හිමිකාරිය ඝාතනය කිරීමෙන් පසු යුරෝ මුදල්වලින් එම මුදල මොවුන්ගේ ගිණුම්වලට බැරකොට ඇති බැව් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ. මුදල් ගනුදෙනුව කොළඹ ප‍්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සිදුවී ඇත. ඝාතකයන් සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිසිය මගින් සොයාගනු ලැබීය. බූරුවා ගැසීම, කාන්තාවන් ඇසුරු කිරීම, ණය තුරුස් ගෙවීම සඳහා සැකකරුවන් විසින් මෙකී මුදල් වියදම් කොට ඇති බැව් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.

 කෙසේ වුවද හෝටල් හිමිකාරියගේ ඝාතනය වී දින 13 ක් ඇතුළත ඝාතකයන් කොටුකර ගැනීමට හබරාදුව පොලිස් ස්ථානාධිපති කේ. කේ. ප‍්‍රියන්ත උදයකුමාර මහතා ඇතුළු නිලධාරීන්ට හැකිවිය. කිසිදිනක අපරාධයක් සිදුකොට සැඟවී සිටිය නොහැක. ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍ර කුමාර, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ, සහකාර පොලිස් අධිකාරි 04 උදය කුමාර, යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත හබරාදුව පොලිස් ස්ථානාධිපති කේ. කේ. ප‍්‍රියන්ත උදයකුමාර, උ. පො. ප. බණ්ඩාර, පො. සැ. (26618) මෙන්ඩිස්, පො. සැ. (3212) විමල්, පො. සැ. (24447) පියසිරි. පො. සැ. (45375) සුජිව, පො. කො. 82602 ප‍්‍රබෝද, පො. සැ. (72517) කීර්ති පො. කො. (87172) මදනායක, පො. කො. (89451) වරාවිට, පො. කො. (87641) ජනිත් යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

 ලලිත් චාමින්ද