සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.


ඒ අනුව එදිනට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට එකඟතාව පළ කළ සියලු පක්‍ෂ සමඟ ගිවිසුම්ගත වීමට නියමිත බවත්, ඒ වෙනුවෙන් මේ වනවිට සියලු පක්‍ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ මේ වනතුරු නිශ්චිත තීරණයකට පැමිණ නැතත්, සන්ධානයේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳ සියලු පක්‍ෂ සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගය සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට විදේශ තානාපතිවරුන්, නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර ඇති බවත්, මෙම උත්සවය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මෙම සන්ධානයට එකතු වීමට විශාල පක්‍ෂ සංඛ්‍යාවක් මේ වනවිට සිය කැමැත්ත පළ කර තිබෙන බවද හරීන් ප්‍රනාන්දු පැවසීය.

- නවෝද්‍යා පවනි -