රජයේ ඉහළ තනතුරුවලට හා තානාපති තනතුරුවලට නම් කෙරුණු 200 දෙනකු උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පසුගිය කාලයේදී විමර්ශනයට ලක්කරනු ලැබ ඇතැයි එම කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙයි.  මේ විමර්ශන සඳහා උසස් නිලතල පිළිබඳ
පාර්ලිමේතු කාරක සභාව
පසුගිය කාලයේදී 54 වතාවක් රැස්වී තිබිණැයි ද එම වාර්තව සඳහන් කරයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට මෙසේ වාර්තාවක්  ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ වසර 40 කට පමණ පසුවය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට මීට පෙර වාර්තාවක්  ඉදිරිපත් කර තිබුණේ 1980 වර්ෂයේදීය. රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, රජයේ සෑම සංස්ථාවකම, මණ්ඩලයකම හෝ වෙනත් සමාන ආයතනවල සභාපතිවරුන්ද නම් කෙරුණු අවස්ථාවලදී ඔවුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම උසස් නිලතල පිළිබඳ කාරක සභාවට පැවැරෙන ප්‍රධාන වගකීම් අතර වෙයි. මෙයට අමතරව තානාපති තනතුරුවලට නම් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමටද මේ කමිටුවෙන් සිදුවෙයි.  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා වෙනම තොරතුරු පද්ධතියක් යොදා ගැනීමටද අවධානය
යොමුවී ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

-අංජුල මහීක වීරරත්න