රජයේ රෝහල්වල හිග වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310ක් හදිසි මිලදී ගැනීම යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී
ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600ක් පමණ වේ.  මෙරට ප්‍රධාන වශයෙන් ඖෂධ සපයන  ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලට ගොස් මෙම ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇති අතර  සෞඛ්‍ය අමාතයාංශයේ සෘජු අධීක්‍ෂණය යටතේ එම ඖෂධ මිලදී ගැනෙනු ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියන ආයතනවල නිලධාරි කණ්ඩායමක් ද පිටත් කර යැවීමට නියමිතය.  මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර, එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11ත් 14ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.  හදිසි මිලදී ගැනීම් යටතේ වුව ද මෙම ඖෂධ මිලදී ගැනීමට දින 60ත් 90ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවැසීය.

වෛද්‍ය සැපැයීම් අංශයට අවශ්‍ය ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ගෙන්වා ගැනීමට ගිය වසරේ රුපියල් කෝටි 4100ක පමණ ඇණවුම් නිකුත් කර ඇතත් ඖෂධ සංස්ථාවට ඒ සඳහා  වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 2500ක පමණ මුදලක් බව ද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත. රජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින අතර ගිය වසරේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් ලෙස නොලැබීම ද මෙම ඖෂධ හිගයට බලපා ඇතැයි ඇමැතිවරිය පෙන්වා දී ඇත. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හිඟ ඖෂධ වර්ෂ 310ක් හදිසි මිලදී ගැනීම් යටතේ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

-අජන්ත කුමාර-