සුගිය සතියේ  (ජනවාරි30 දා) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස වැඩබාරගත් රෝහණ දේව පෙරේරා මහතා පත්වීම භාරගෙන දින 3 කට පසු ඊයේ (03) එම තනතුරින් ඉවත් කර ඇති බව රජයේ ආරංචි වාර්තා කරයි. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඔහු ඉවත්කරන  ලිපිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා වෙත ඊයේ යොමු කර තිබුණි.
රජයේ පත්කිරීම් විද්‍යානුකූල පදනමකින් පත්කරන බවටත් වියත්මග උපදෙස් මත
මේවා සිදු කරන බවටත්

ප්‍රකාශවී තිබියදී ගුවන්විදුලි සංස්ථාවට රෝහණ දේව පෙරේරා මහතා සභාපති ලෙස හා ගායිකා සංජීවනී වීරසිංහ අධ්‍යක්ෂවරියක ලෙස පත්කිරීම සමාජ මාධ්‍ය තුළ විවේචන  පළ විය.
රෝහණ දේව පෙරේරා මහතා සිය කාර්ය මණ්ඩලය අමතා ප්‍රසිද්ධියේ කළ පළමු කතාව 'විහිළු කාරයෙකු' සිහිගන්වන බවටද ඇතැම් වෙබ් අඩවි මගින් විවේචනයක් එල්ල කර තිබුණි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධූරයට ඔහුව පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබීම නිසා ඔහුගේ පත්වීම ඉතා ඉක්මණින් ආපසු හරවා ඇතැයි දැනගන්නට ලැබේ.
රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සුදුස්සන් නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කළ විද්වත් කමිටු නිර්දේශය මත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරය සඳහා රෝහණ දේව පෙරේරා මහතා පත් කර තිබූ නමුත් හාස්‍ය මුසු ආකාරයට
ඔහු වැඩ බාරගනිමින් සිදු කළ කතාව නිසා එම අපේක්ෂාවන් බොඳවූ බවද කියැවිණි.
'විහිළු කාරයෙකු' ලෙස විවේචන පළවූ එම කතාව පහත දැක්වේ.