කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටිය දී එරට හාම්පුතුගෙන් ව්විධ හිරිහැරවලට ලක්වූ සහ පොරොන්දු වූ පරිදි වැටුප් නොලැබූ ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 58 දෙනකු ඊයේ (04) දිවයිනට පැමිණි බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.  මෙලෙස පැමිණියේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
යටතේ ඇති සුරක්ෂා නිවාසවල රැදී සිටි ලාංකික කතුන් පිරිසකි.මෙම කාන්තාවෝ පිරිස කුවේටයේ සිට පැමිණි  ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරන  ගුවන් යානයෙන් ඊයේ (04) පෙරවරු 6.30ට  කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ.


සේවය කළ නිවෙස්වල දි හාම්පුතුන්ගෙන් සිදුවන හිරිහැර තවදුරටත් ඉවසාගත නොහැකිව ඔවුන් එම නිවෙස්වලින් පලා යමින් සිටිය දී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වූ මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට බාරදෙනු ලැබ සිටියහ. පසුව තානාපති කාර්යාලයේ “සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ මාස කිහිපයක් තිස්සේ රදවා තබාගෙන සිටි මොවුන්  තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ
මෙරටට එවිමට කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබීණි.

මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත් මිල දී ගෙන තිබුණු අතර, තවත් සුළු පිරිසකට රක්ෂණ ආයතන මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබිණි.  මෙම පිරිස අතර සිටි එක් ගෘහ සේවිකාවක අසනීප තත්ත්වයෙන් පසු වූ අතර, ඇයට ගුවන් තොටුපළ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා දී ඇය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස වෙත රැගෙන යනු ලැබිය. මෙම ගෘහ සේවිකාවන් පිරිස රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ට ගම්බිම් බලා යෑමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සහන දිමනාවක් දි ඇත.