එළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්,
පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා,

"මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ. අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමඟ එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා" යනුවෙන්ද සඳහන් කළේය.


මන්ත්‍රීවරයා හා මාධ්‍යවේදීන් අතර එහිදී ඇති වූ සංවාදය පහත පරිදි වේ.

ප‍්‍රශ්නය - සන්ධානයේ ලාංඡනය පිළිබඳ ගැටලුවේ අවසන් තීරණය ගන්නේ කවදද?

සියයට 80ක් 90ක් මේ වනවිට ගැටලු විසඳගෙන තියෙන්නේ. අපි හැමෝම එකඟවෙලා එක ලකුණකින් ඉදිරිපත් වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. ඒ නිසා මෙතන ගැටලුවක් නෑ. කඩිනමින්ම ලකුණ පිළිබඳ අවසන් තීරණය ගන්නවා. හංසයාගෙන් එන්න ඕන කියන තීරණය අරන් තියෙනවා පක්‍ෂය විසින්. යම් ගැටලුවක් ආවොත් සමහර විට ලකුණ අලියා වෙන්නත් පුළුවන්. වෙනත් ලකුණක් වෙන්නත් පුළුවන්.

ප‍්‍රශ්නය - හංසයා ලකුණ දැනට හිමි පක්‍ෂය එය ලබාදීමට සුදානම් ද?

ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. මහලේකම් ධුරය වැනි කාරණා සම්බන්ධව. හංසයා ලකුණට එක්සත් ජාතික පක්‍ෂයේ අනුමැතිය ලැබිලා තියෙන නිසා අපට එය ලබාගැනීමට හැකිවෙයි.

ප‍්‍රශ්නය - මුස්ලිම් කොංග්‍රසය වෙනම ඉල්ලන්න සුදානමක් තියෙනවා නේද? ඔවුන් සන්ධානයෙන් ඉවත් වෙනවද?

මං හිතන්නේ නෑ එහෙම වෙයි කියලා. විවිධ සාකච්ඡා පවතියි. කොහොම ඉදිරිපත් වුණත් සියලු දෙනා මේ ආණ්ඩුවට විරුද්ධවනේ ඉදිරිපත් වෙන්නේ.

ප‍්‍රශ්නය - මැතිවරණය සඳහා පවතින සුදානම කොයි වගේද?

අපි මේ වතාවේ නවක අයට අවස්ථාව දෙනවා. මේ වෙද්දිත් විශාල අයදුම්පත් ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒ වගේම ආසන ගණනාවකට අලුත් සංවිධායකයන් පත් කරන්න නියමිතයි. ඒ වගේම ගම් මට්ටමේ සිට ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යනවා.

- නවෝද්‍යා පවනි -