ශ්‍රී ලංකාවේ සිටින සියලුම චින ජාතිකයන්ට කරුණාවෙන් සලකා අවශ්‍ය උපකාර කරන්නැයි කාරුණික හදවත් ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව වරකාගොඩ ඥාණරතන අස්ගිරි මහනාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. මහජන චීනය තුළ
කොරෝනා නමැති වෛරස් රෝගී තත්ත්වය උද්ගත වී ඇති බවත් එය ලෝකයේ වෙනත් රටවලට ද පැතිර යා හැකි බවත් දැන් රහසක් නොවේ. ඒ සමඟම මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සහ වැළැඳුණු රෝගීන් සුවපත් කිරීම සඳහා මහජන චීන රජය මඟින් ඉතා සුළු කාලයක් ඇතුළත ක්‍රියාත්මක වී ඇති බව දැනගන්නට ඇත.

ලෝකයේ අනෙකුත් රටවල් ද තම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව සුරැකීම සඳහා නිසි කටයුතු කරමින් ඇති බව පෙනී යයි. අප ශ්‍රී ලංකාවේ රජය ද රෝගාශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
ත්‍රිවිධ හමුදාව, ජාතික ගුවන් සේවය උපයෝගී කරගෙන ඉතා අගනා සේවයක් ඉටුකළ බව ද නොරහසකි. එමෙන්ම අප රට තුළ මෙම රෝගී තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා අගනා සේවයක් ඉටුකරමින් පවතින බව ද සඳහන් කළ යුතුය.

මහජන චීනයත් ශ්‍රී ලංකාවත් අතර සම්බන්ධතාවන් පවතිනුයේ ඈත අතීතයේ සිටය. ඒ දිර්ඝ කාලය තුළ අප දෙරට තුළ ආගමික, සංස්කෘතික, විද්‍යාත්මක, අධ්‍යාපනික වශයෙන් නොයෙකුත් සම්බන්ධතා ඇති විය. මෙම බැරෑරුම් අවස්ථාවේදී රෝගය පැතිරීම පාලනය කිරිම සඳහා චීන ජාතිකයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අප කාගේත් යුතුකමයි. චීන රජය, ශ්‍රී ලංකාවේ මෙවැනි අවස්ථාවන්හිදි අප හට සහයෝගය ලබාදුන් අවස්ථාවන් අපමණය. අපගේ සිවිල් යුද්ධය පවතින කාල වකවානුව තුළදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවලදී පවා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය ඉමහත්ය.

ශ්‍රී ලංකාට් සංවර්ධනය දෙස හැරී බැලුවත් අපගේ මෑත කාලින සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වූයේ ද මහජන චීනයේ ආධාර ඇතිවය. එයට උදාහරණ වශයෙන් දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන, නොරොච්චෝලේ විදුලි බලාගාරය, මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය සහ මහ කොළඹ වරාය නගරය දැක්විය හැකිය.
අප බෞද්ධ නායකයන් වශයෙන් ආගමික වතාවත් තුළින් මෙම රෝග බිය නැති කරලිමට සෑම උත්සාහයක්ම දරනෙමු.

විසාලා මහනුවරට මාරාන්තික රෝග බියක් ඇති වූ අවස්ථාවේදී ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ රතන සුත්‍රය අප මේ අවස්ථාවේදී දේශනා කරන්නෙමු. 2020 පෙබරවාරි මස 5 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කොට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා කටයුතු කරන්නෙමු.ශ්‍රී ලාංකික ජනතාව ජන්මයෙන්ම ආගන්තුක සත්කාර කිරීම සහ කාරුණික හදවත් ඇත්තන් බව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.

එම කාරුණික බව මේ අවස්ථාවේදිත් තමන් තුළ පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ජීවත්වින සියලුම චීන ජාතිකයන් හට කරුණාවෙන් සලකන ලෙසත් අවශ්‍ය උපකාරයක් ඇත්නම් ඉටුකර දිමින් ඔවුන් පිළිඛඳ අප සැමදා කරුණාව දන බව සනාථ වන අයුරින් කටයුතු කරන ලෙස කාරුණිකව දන්වනු කැමැත්තෙමි.