මියගිය ඥාතියකු භූත වේශයකින් ලබාදෙන උපදෙස් මත බව පවසමින් දේව අස්න (ඉබේ ලියවෙන භූත ලෑල්ල) උපයෝගි කර ගනිමින් නිවෙස පිටුපස කැණීම් කරමින් නිදන් වස්තු ලබාගැනීමට උත්සාහ දැරූ දෙමස්සිනාලා බණ්ඩාරගම වැල්මිල්ල මාහිංගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ දේව අස්න හෙවත් ඉබේ ලියවෙන භූත ලෑල්ල, ග්‍රිල් කටු, උදලු මෙන්ම
පොළොව හෑරීම සඳහා උපයෝගි කරගන්නා අනෙකුත් උපකරණ රැසක් සමඟ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.


වැල්මිල්ල මාහිංගමුව ප්‍රදේශයේ නිවෙසක් පිටුපස දිවා - රාත්‍රි කැණීම් කටයුතු සිදුකරමින් නිදන් වස්තු ලබාගැනීමේ උත්සාහයක නිවෙස් හිමියා සහ ඔහුගේ මස්සිනා යෙදෙන බවට බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ හා විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන විට සැකකරුවන් නිදන් වළ හාරමින් සිට පිටතට පැමිණ සුළු මොහොතක් ගත වී තිබූ බව පොලිසිය කියයි.
නිවෙස පිටුපසට වන්නට මිල කළ නොහැකි මැණික්වලින් පිරුණු කළයක් තිබෙන බවට අත්අඩංගුවට ගත් සැකකාර ගෙහිමියාට මීට වසරකට පමණ ඉහතදී මියගිය මිත්තණිය හීනෙන් පැවැසූ බවත් එය ලබාගැනීමට උත්සාහ ගන්නා ලෙසද පැවැසූ හෙයින් එකී වසරක පමණ කාලයක සිට නිධානය ලබාගැනීමට උත්සාහ දැරූ බවත් ඒ සඳහා "දේව අස්න' ඉබේ ලියවන භූත ලෑල්ලක් උපයෝගි කරගන්නා ලෙස පැවැසූ බව ඔහුගේ ප්‍රකාශයකින් හෙළ වූ බව පොලිසිය කියයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් පන්දහසකට අධික මිලක් ගෙවා 'දේව අස්න' ඉබේ ලියවෙන භූත ලෑල්ලක් රැගෙන විත් මියගිය මිත්තණිය භූත වේශයෙන් ලබාදෙන උපදෙස් දේව අස්නට හඳුන්කූරු දුම දල්වා ලබාගැනීමට උත්සාහ කළද එලෙස උපදෙස් ලබාගැනීමට තමාට මෙන්ම බිරියටද නොහැකි වූ බවත් දියණිය ඒ සඳහා යොමු කිරීමෙන් පසු 'දේව අස්න' ට අත තැබීමෙන් පසු ලබාදෙන උපදෙස් ඉබේ ලියවෙන බවත් එලෙස ලබාදෙන උපදෙස් මත නිධානය ගැනීමට උත්සාහ කළ බවද සැකකරු පැවසූ බව පොලිස් නිලධාරියා කීය.


භූත ලෑල්ල ලබාදුන් උපදෙස් මත මෙම නිධානය ගැනීම සඳහා තම විශ්වාසවන්ත ඥාතියකු වූ බිරියගේ සහෝදරයා යොදා ගත් බව සැකකරු වැඩිදුරටත් පැවැසූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකරුන්ගේ නිවෙස පිටුපසට වන්නට අඩි හයයි හය ප්‍රමාණයේ දිගින් හා පළලින් යුත් අඩි දහතුනක් පමණ ගැඹුරු විශාල වළක් හාරා එහි කොනකින් දෝනාවක් ආකාරයෙන් අඩි පහළොවක් ඉදිරියට පුද්ගලයන් දෙදෙනකුට යා හැකි ලෙස හාරා අනතුරුව එතැන් සිට පහළට පුද්ගලයන් දෙදෙනකුට  පහසුවෙන්  සිටගෙන සිටිය හැකි අයුරු විශාල වළක් හාරා එම දෝනාව තුළට විදුලිය ලබාගෙන තිබුණේ නිවෙසේ මුළුතැන් ගෙය සිට වයරයක් යොදාගෙන බවත් පොලිසිය කියයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට උපදෙස් ලබා නොදුන්නේ ඇයිදැයි විමසීමේදී සැකකරු සිනහවකින් පිළිතුරු ලබාදුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රධාන සැකකාර නිවෙස් හිමියා හා ඔහුගේ මස්සිනා වන අනෙක් සැකකරු කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔවුන් දෙදෙනා වයසින් අවුරුදු 40 - 50 අතර පසුවන්නන් බවත් පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්කොස්තාපල්වරුන් වන බාලසූරිය හා දර්ශන ඇතුළු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ හා පොලිස් විශේෂ කාර්යාංශයේ බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත නිලධාරීහු වැටලීම සිදුකළහ.

 - එම්.සී. පෙරේරා -