ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (27දා) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ අනුව මෙම තීරණය ගෙන තිබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ඇති කරගන්නා ගිවිසුම නිසා ලංකාව මැදින් ආර්ථික කොරිඩෝරයක් නමින් කොටසක් සකසා විදේශ ආයෝජකයින්ට සින්නක්කර ඉඩම් ලබාදෙන සූදානමක් පැවති බව මින් ඉහත කියැවුණි.
එජාපය ජනපතිවරණය ආසන්නයේ මෙම ගිවිසුම අත්සන් කරන්නට සූදානම් වීම නිසා එයට එරෙහි ගෝඨාභය ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන කාරණාවක් වූයේද මෙම ගිවිසුම හකුළා දමන බවකි.
නමුත් ජනපතිවරණයෙන් පසුව මෙම ගිවිසුම යළි සලකා බලා සංශෝධන සහිතව අත්සන් කරන සූදානමක් ගැන ඉගි පළවූ නමුත් නැවත මහමැතිවරණයක් නුදුරේදීම පැවැත්වෙන බැවින් එම කතාබස්ද විසිරී ගොස් තිබුණි.
අද කැබිනට් ප්‍රකාශකවරයා මෙම ගිවිසුම අත්සන් නොකරන බව ප්‍රකාශ කරන්නේ එවැනි පසුබිමකදීය.