අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරග සමයේ මාර්ග නීති උල්ලංඝනය කරන මහජනයාට හිරිහැර වන අයුරින් හැසිරෙන සහ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් අසෝභන ලෙස හැසිරෙන සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා
පොලිස් බුද්ධි අංශ යොදවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. පොලිස් බුද්ධි අංශ නිලධාරින් එවැනි දර්ශන සිද්ධීන් වීඩියෝ සහ ඡායාරූප ගතකර එම සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. වාර්ෂිකව පැවැත්වෙන මෙම අන්තර් පාඨශාලා තරගවල දී සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පැමිණිලි පොලිසියට ලැබෙන බවත්  ඇතැම් සිසුන්, මත්පැන් මන්ද්‍රව්‍ය භාවිත කරමින් නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට පැමිණිලි ලැබෙන බවත්
පොලිසිය සඳහන් කරයි.

මෙවැනි ක්‍රියාවලින් පාසල්වලට අගෞරවයක් මෙන්ම අනාරක්ෂිත රථ පෙළපාලි යාම් තුළින් සිසු ජීවිත ද අනතුරට පත් වන බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.  මෙම තත්වය වළක්වා ගැනීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත  බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩල, ආදි සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කොළඹ ප්‍රසිද්ධ පාසල් දෙකක් අතර අන්තර්  පාඨශාලා ක්‍රිකට් තරගය හෙට (27) දිනයේ ආරම්භ වීමට නියමිතව ඇති අතර පොලිස් නිලධාරීන් එම පාසල් දෙකේ, විදුහල්පතිවරුන්, ආදි සිසුන්, සිසුන් ඇතුළු පිරිසට මීට අදාළ උපදෙස් ලබා දී ඇති බව ද මූලස්ථානය සඳහන් කරයි. මෙම විශේෂ වැඩසටහන
ඉදිරියේ දී බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බව ද පොලිස් මූලස්ථානය  වැඩිදුරටත් පැවසීය.

-ඉන්දිකා රාමනායක-