කොළඹ නගරයට දෛනිකව පැමිණෙන ජනතාව බැහැර කරනු ලබන කසළ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඉකුත්දා කොළඹදී පැවසීය.

එහි පළමු පියවර ලෙස ජංගම වෙළඳුන් ජනතාවට අලෙවි කරනු ලබන ප්ලාස්ටික් වතුර බෝතල් ජනතාවගෙන් නැවත එකතු කර ගැනීම සඳහා කොළඹ ජනාකීරණ ප්‍රදේශවල විශාල ප්‍රමාණයේ පෙට්ටි සවිකරන බව ද ඔහු කීය.

රටතුළ නිසි ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරනවිට රටේ පොදු නීතිය ක්‍රියාවට නැංවීම ඉතාමත් පහසු කාර්යයක් බවත් කොතරම් දුරට දඩ මුදල් අය කළ ද පුද්ගලයින් අතින් සිදුවන වැරදි නිවැරදි කළ නොහැකි බව ද බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ නගරයේ පරිසරය පිරිසිදු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, වෙළඳසැල් හිමියන්, ජංගම වෙළඳුන් දැනුවත් කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ කාර්යාලයේදී ඉකුත්දා (11) පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

නාගරික රථවාහන දිසාව බාර හා පරිසර ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

එහිදී පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා මෙසේ පැවසීය.

බස් රථයේ කළමණාකාරිත්වය කොන්දොස්තරවරයා සතුයි. බස් රථයේ සිටින මගීන් බැහැර කරනු ලබන කසළ දැමීම සඳහා බස් රථය තුළ කුණු කූඩයක් සෑදීමේ අවශ්‍යතාව අපේ රටට තදින්ම තිබෙනවා. එවැනි වැඩපිළිවෙළකට ගියවිට ජනතාව ඉබේම හැදෙනවා.

අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා බාල මහලු දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු දෙනාම එකට එකතු විය යුතුයි. පරිසරය පිරිසිදු කිරීමට රැයක් දවාලක් හෝ වැස්ස අව්ව බල බල ඉඳලා බැහැ. බස් රථයේ, නැවතුම්පොළේ හෝ ගමන් කරන මාර්ගයේ කොහේ හෝ ස්ථානයක කසළ තිබුණහොත් එය අහුලා කසළ බැහැර කරන ස්ථානයකට දැමීමට ජනතාව පුරුදු විය යුතුයි.

වර්තමානය වනවිට මිනිසුන් පරිසරයට හානි කරන අවස්ථා වැඩිවී තිබෙනවා. මෙම මානව ක්‍රියාකාරකම් නවතා ගත හැකි වුවහොත් අලංකාර පරිසරයක් නිර්මාණය කළ හැකියි. කොළඹ පරිසරය පිරිසිදු කරන්න රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේ විශාල ආයතන සංඛ්‍යාවක් දැවැන්ත වෙහෙසක් ගනු ලබනවා. එහෙත් මිනිසා ස්වේච්ඡාවෙන්ම මෙයට දායක නොවුණහොත් ආයතන කොතරම් වෙහෙසක් ගත්තත් වැඩක් නැහැ.

පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක රෂින්ත ජයරත්න, පිටකොටුව ප්‍රජා පොලිස් ස්ථානාධිපති ග්‍රේෂන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්දික වීරසේන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.

- හසිත රංග ගුණතිලක -