කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.



හෙතෙම මේ බව පැවසූයේ පසුගියදා පැවැති දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු ද්වාරය නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ  සියලූම කලාප මත්ද්‍රව්‍ය මත්පැන් දුම්කොළ ආදී කිසිවකින් තොර කලාපයක් බවට පත්කළ බවත්, පාලක සභාවේ අනුමැතිය ඒ සඳහා හිමි වූ බවත් ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරිය,

"කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළා. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය, මත්පැන් , දුම්කොළ මේ කිසිවක් නොමැති කලාපයක් කළා. පාලක සභාවේ අනුමැතිය එයට ලැබුණා. විශ්වවිද්‍යාලයේ සියලුම කොටස්වලට එය දැනුම්දීලා තිබෙනවා. මත් සටන පරාජය කරන්න සෙඛ්‍ය ක්ෂේත්‍රයට විතරක් බැහැ. ඒ සඳහා අපි සියලුදෙනා එකතුවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උත්සව අවස්ථාවකට, දුම්කොළ සමාගම අනුග්‍රහය දක්වමින් ලබාදුන් චෙක්පතක් පවා කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතික්ෂේප කළා. මම ඒ ගැන බොහොම සතුටු වෙනවා.” යැයි පැවසුවාය.

මේ අතර වත්මන් රජයේ රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කර ගැනීම උදෙසා පිහිට වූ සය පුද්ගල කමිටුවේ සාමාජිකයෙකු ලෙස දුම්කොළ සමාගමේ හිටපු සභාපතිවරයා පත්කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ 'TabaccoUnmasked.lk 'වෙබ් අඩවියේ සංස්කාරක වෛද්‍ය මනූෂා පෙරේරා මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ මනූෂා පෙරේරා මහත්මිය,

"රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කරන කමිටුවේ සාමාජිකයෙකු ලෙස දුම්කොළ සමාගමේ හිටපු සභාපතිවරයාව පත්කර තිබෙනවා. ඒ කමිටුවෙන් තමයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවත් පත්කරන්නේ.

මෙවැනි තනතුරු ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆ්.සී.සී.ටී(FCCT) සම්මුතිය උල්ලංඝනය කිරීමක්. ඒක එක උදාහරණයක් පමණයි. මෙවැනි දේවල් දුම්කොළ කර්මාන්තය විසින් ලෝකය පුරාම භාවිත කරනු ලබනවා.

දුම්කොළ කර්මාන්තයේ හිටපු කෙනෙක් රජයේ ආයතනයට දානවා. එහෙම නැතිනම් රජයේ ආයතනයක හිටපු කෙනෙක් දුම්කොළ කර්මාන්තයට දානවා. මේක ලෝකය පුරාම සිදුවන දෙයක්. මොන පැත්තට ඒක වැඩකළත් මේ ජාලය නිසා රජයේ තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව දුම්කොළ සමාගමට තිබෙනවා.” යැයි පැවසූවාය. දුම්කොළ කර්මාන්ත අධ්‍යනය කේන්ද්‍රයෙහි තොරතුරු ද්වාරය වන 'TabaccoUnmasked.lk' වෙබ් අඩවිය අනුව යමින් දකුණු ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ තොරතුරු කේන්ද්‍රය වන 'TobaccoUnmaskedSouth.asia' නිර්මාණය කර තිබේ.

මෙම අවස්ථාවට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ හිටපු සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය, TabaccoUnmasked. lk වෙබ් අඩවියේ සංස්කාරක වෛද්‍ය මනූෂා පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

-චාමර සම්පත්-