ගෙවී ගිය දින දෙක තුළදී කොරෝනා වෛරසය ශරීරගත වු බවට සැක සහිත බව පවසමින් පස් දෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත් වූ බව එම ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.



මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉන් දෙදෙනෙකු නිවෙස්වලට යැවූ බවත්, එහෙත් තිදෙනෙකු රෝහල තුළ රඳවා සිටින බවත් හෙතෙම පවසා සිටියේය. එම තිදෙනාගේ සාම්පල කිහිපයක් පරික්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙන බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කර තිබෙන බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදුකරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

චීනයේ වූහාන්වල සිට මෙරටට පැමිණ දැනට දියතලාව කඳවුරේ රඳවා සිටින පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, දැනට අංගොඩ උණ රෝහලට ඇතුළත් වී සිටින තිදෙනා චීනයේ සිට ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් වන බවත් වාර්තා විය.

කොරෝනා වෛරසය ශරීරගත වූ චීන කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය රෝහලින් නික්ම යාමට තරම් යහපත් වුවත්, ඇයට නැවත චීනය බලා යෑමට අවශ්‍ය බැවින් ඊට අදාළ කටයුතු සඳහා දින දෙක තුනක් ගතවිය හැකි බව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි. එතෙක් අදාළ කාන්තාව අංගොඩ උණ රෝහලේ රැඳී සිටින බව කියැවිණි.